වැරැද්ද කොතනද ? පුංචි කුරුළු කුඩුවක් විනාශයි – නීතිඥවරියයි – ව්‍යාපාරික සැමියත් – චූටි බිලිදත් නොඑන ගමනේ කතාව

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් සුන්බුන් අතර සිරවී මියගිය බිලිදාගේ මව හා පියාගේ මළ සිරුරුද මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අචලා ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන දෙදෙනාගේ සිරුරු සුන්බුන් අතර තිබියදී මෙසේ සොයා ගැනිණි.සුන් බුන් අතර සිර වී සිටි මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි. මේ වන විට සිරුරු මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ විවාහ වූ මෙම යුවලගේ බිලිදා මාස එක හමාරකි. මියගිය අචලා වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර සැමියා ව්‍යාපාරිකයෙක් ලෙස සංචාරක හෝටලයක් පවත්වාගෙන යයි.

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි අද (20) අලුයම කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ට අනුකූලව නොවන බවත්, එහි අත්තිවාරම නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවත් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ කඳු බෑවුම් සහිත අස්ථාවර භූමියක බවත්, එවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නිර්දේශ හා ක්‍රමවේදයන් අනුව බවත් එම ස්ථානයට ගොස් පරීක්‍ෂාවක නිරත වූ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය.

ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ද ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර තිබේ.

විශේෂයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් මෙම ස්ථානයට ගොස් එම ස්ථානය හා අවට භූමිය පරීක්‍ෂාවට ලක්කර ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති භූමිය අස්ථාවර භූමියක් බව කී බෝගහපිටිය මහතා මෙම කඩාවැටුණු ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ භූමියට ගැළපෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නොවන බව ද සඳහන් කළේය.

මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචි කරුවන්ට එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් වන ලෙස ද දැනුම් දුන් බව ද ඔහු කීවේය.මෙවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකරන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන්නත් ඇතැමුන් එම නිර්දේශ නොතකා කටයුතු කරන බව බෝගහපිටිය මහතා ප්‍රකාශ කළේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙහි අත්තිවාරම භූමියට ගැළපෙන නිසි ප්‍රමිතිය අනුව ඉදිකර නොමැති බවයි.

ඒ හේතුවෙන් අත්තිවාරම බිඳී ගොස් ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි ඔහු සඳහන් කළේය.














Next Post

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු දැන් කියන කතාව

Mon Sep 21 , 2020
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ (20 වැනිදා) අලුයම 5.00ට පමණ ගිලා බැසීමට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. සංඝමිත්තා මාවතට යාබදව පිහිටි මෙම පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවිෂ්ට දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම […]