ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය සෙවීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

තෙත් බිමක් ලෙස නම් කර තිබූ අනවිලුන්දාව රැම්සා අභය භූමියේ අක්කර ගණනාවක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ, අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

එම ප්‍රකාශය කර ඇත්තේ, ඩෝසර් යන්ත්‍රයේ හිමිකරුය. ඔහු ‘අත්හැර දැමූ ඉස්සන් කොටුවක් කුලී මුදලට පිළිසකර කිරීමට උත්සහ කර ඇතැයි පෙනී යන’ බව වාර්තාවේ සඳහන් වේ. 

එම වාර්තාවේ ‘සිද්ධිය පිළිබඳ නිරීක්ෂණ’ යන මාතෘකාව යටතේ දක්වා ඇත්තේ, අදාළ ඩෝසර් හිමිකරුගෙන් කළ මූලික ප්‍රශ්න කිරීම් අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම මත එම අභය භූමිය හෙළි පෙහෙළි කර ඇතැයි නිරීක්ෂණය වන බවය.ජගත් සමන්ත යනු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකි.

පසුගිය දා ජන හමුවක් අමතමින් අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධයක් නොමැති අතර එහිදී වනාන්තර විනාශයක් සිදුවී නොමැති බවය.

පසුගිය 29 වන දා හානියට පත් අභය භූමියේ නිරීක්ෂණයට ගිය අමාත්‍ය සී.බී. රත්නායක මහතා මේ සම්බන්ධව සියලු සිද්ධි විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමට කටයුතු කළේය.ඒ සමග පසුගිය 29 වන දා ආරච්චිකට්ටුව පොලි. සිය විසින් අදාළ ඩෝසර් යන්ත්‍රයත් එහි රියැදුරුත් අත් අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම කලාපය 1986 වසරේදී පෞද්ගලික සමාගමකට වසර 30ක් සඳහා බදු පදනම මත ලබා දී ඇති අතර 1997 වසරේදී එය අභය භූමියක් ලෙස නම් කර තිබේ. 2016 වසරේදී වසර 30 බදු කාලය අවසන් වූ අතර අදාළ සමාගම ඊට පෙර එම ඉඩම අතහැර දමා තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වන ආනවිලුන්දාව ගම්මානයේ පුත්තලම – මීගමුව මාර්ගයට යාබදව මෙම තෙත් බිම පිහිටා තිබේ. ආනවිලුන්දාව රැම්සා තෙත් බිමක් ලෙසින් නම් කරනු ලැබුවේ 2001 වසරේ අගෝස්තු මස 03 වන දාය. ඒ මෙරට දෙවන තෙත්බිම ලෙසිනි.

මෙහි වැව් හතක් දක්නට ලැබෙන අතර එල්ලංගා වැව් පද්ධතියක් ලෙසින් කෘෂි කර්මාන්තයට ද ඉමහත් සේවාවක් ඉටු කරනු ලබන අතර පූර්ණ තෙත් බිමක් ලෙසින් නම් කර තිබේ. හෙක්ටයාර 1397 ක පමණ විශාලත්වයකින් යුතු ආනවිලුන්දාව අභය භූමියක් ලෙසින් නම් කරනු ලැබුවේ 1997 ජූනි මස 11 වන දාය. 

Next Post

පාන් නැතිව අනිත් බේකරි නිෂ්පාදන ඉහලට - කලකිරුණු මන්ත්‍රීවරුන්ට සුබ ආරංචියක්!

Wed Sep 9 , 2020
බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ මාගරින්, ෆාම් ඔයිල්, සීනි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වත් ඉහළ දැමීමට සිදුවී ඇති බව බේකරි සංගමයේ සභාපති ඒ.කේ. ජයවර්ධන මහතා පවසයි. බිත්තරයක මිල රුපියල් දෙකකින් පහළ දැමීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද පිටරටින් […]

Breaking News