ජාතික රෝහලේ හදවත් සැත්කම්වලදී භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ඔෟෂධ ඇතුළු උපකරණවල හිඟයක් නිසා මාස ගණනාවක සිට එම වෛද්‍ය උපකරණ හෘද සැත්කමට භාජනය වන රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට සිදුව තිබිම නිසා හදවත් රෝගීහු දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති.
කොළඹ ජාතික රෝහලට පැමිණ හදවත් සැත්කම් කර ගැනීමේදී සෑහෙන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටීමට රෝගීන්ට සිදුවන අතර මෙවැනි තත්ත්වයක් හමුවේ අත්‍යවශ්‍ය ඔෟෂධ ඇතුළු උපකරණ හිඟය නිසා රෝගීහු අන්ත අසරණ තත්ත්වයකට පත්වෙති.
හදවත් සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටින ඉඹුල්ගොඩ සමිත නමැති හිමිනමකටද මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණදීමට සිදුව තිබේ. උන්වහන්සේට හෙට (09වැනිදා) සිදුකිරීමට නියමිත හදවත් සැත්කම සඳහා අවශ්‍ය එන්නත් අඩංගු කුප්පි Gentamycin 80 mg vial (4) සහ Tegerderm Patches (10cm x 12cm) Ioban Sterile drapre (56 cm x45cm) ප්ලාස්ටර් පිටතින් මිලදී ගෙන එන ලෙසට දැනුම් දී තිබේ.
මෙම හිමිනමගේ හදවත් සැත්කම හෙට (09දා) දිනයේ දී කිරීමට නියමිතය. උන්වහන්සේට අදාළ ඔෟෂධ පිටතින් මිලදී ගන්නා ලෙස දැනුම් දී තිබෙන්නේ පසුගිය 4 වැනිදායි.
වයස අවුරුදු විසිනවයේදී උන්වහන්සේ අසාධ්‍ය රෝගියකුගේ ජීවිතය බේරාගනු පිණිස වකුගඩුවක් ද පරිත්‍යාග කළ හිමිනමකි.
මේ වන විට හතළිස් හත්වැනි වියේ පසුවන උන්වහන්සේ ඉකුත් අගෝස්තු 04 වැනිදා ජාතික රෝහලට හදවත් සැත්කම සම්බන්ධව පරීක්ෂණයකට ගිය පසු රෝහලේ Cardiologist thoracic surgeon හදවත් ශල්‍ය වෛද්‍ය ජී.ඒ.සී. අමරසේන මහතා විසින් දැනුම් දී ඇත්තේ මෙම කාඩ්පතෙහි සඳහන් බෙහෙත් එන්නත් කුප්පි 4ක් හා අනෙක් උපකරණ පිටතින් මිලදී ගෙන එන ලෙසය.
තමන් වහන්සේට ඒ සඳහා වියදමක් දැරීමට තරම් වත්කමක් නැති නිසා මේ පිළිබඳව රෝහලේ වෛද්‍ය අධ්යක්ෂවරයා (වැඩ බලන) හමු වී මෙම තත්ත්වය ගැන දැනුම්දීමේදී ඔහු පවසා තිබෙන්නේ මෙම බෙහෙත් හා උපකරණ රෝහලේ නැති බැවින් ඒවා පිටතින් ලබා ගත යුතු බවය.
කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව හදවත් සැත්කමක් කරගැනීම සඳහා සෑහෙන කාලයක් පොරොත්තු ලේඛනයේ බලාසිටිය යුතු බවද එලෙස සිටින අසරණ රෝගීන්ට අවසානයේදී සැත්කමට අවශ්‍ය වෛද්‍ය උපකරණ ආදිය පිටතින් මිලදී ගැනීමට සිදුවී තිබීම අසරණකම දෙගුණ තෙගුණ කිරීමට හේතුවක් වන බවද රෝගීහු කියා සිටිති.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් විමසීමට’මව්බිම’ උත්සාහ කළ අවස්ථාවේ ඒ මහතාගේ කාර්යාලයේ දුරකථනයෙන් පිළිතුරු දුන් නිලධාරියෙක් කියා සිටියේ අධ්යක්ෂවරයා සාකච්ඡාවක සිටින බවය.
රෝහලේ අධ්යක්ෂවරයා වෙනුවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා සම්බන්ධ කරගත් අතර ඒ මහතා කියා සිටියේ ඔෟෂධ වර්ග නොමැති ප්‍රශ්නයට තමාට පිළිතුරු දීමට අයිතියක් නොමැති බවය.
හදවත් සැත්කමක් සඳහා ජාතික රෝහලට එන රෝගීන්ට අත්වී තිබෙන ඉරණම සම්බන්ධව වගකිවය යුතු අංශ සොයා බැලීම වැදගත් වන අතර මෙවැනි අසරණ රෝගීන් අවසානයේදී ප්‍රතිකාර ලබා නොගෙනම මියගිය සිද්ධීන් අනන්තවත් සිදුව ඇතැයි ජාතික රෝහලේ ආරංචි මාර්ග මේ අතර සඳහන් කළේය.
හෘද රෝග සැත්කමට අවශ්‍ය පහත සඳහන් බෙහෙත් එන්නත් සහ උපකරණ ජාතික රෝහලේ නොමැති බවත් රෝහල් පරිපාලනය හා වෛද්‍ය සැපැයුම් අංශය එම භාණ්ඩ සැපයීමට අපොහොසත්ව ඇති බවත් සඳහන් කරමින් පූජ්‍ය ඉඹුල්ගොඩ සමිත හිමියන් වෙත අවශ්‍ය බෙහෙත් ගැන සඳහන් කරමින් ලබාදී ඇති තුණ්ඩුවේ සඳහන්ය.