පුදබිමේ මල් විකිණිල්ල අස්‌සේ කෙරෙන පල්වැඩ මෙන්න – පොලේ මාළු විකුණන්න වගේ මල් විකුණන්න කෑගහනවා

අපෙනුත් මල් ගන්න කෝ… මේ මල් පොකුරම සියයි… අපෙනුත් එක මලක් හරි ගන්න…’’ මේ කන්දොස්ගිරියාව රැව්පිළිරැව් දෙන්නේ කිරිවෙහෙරට යන පාරේය. කතරගම මහ දේවාලය පසු කරගෙන කිරිවෙහෙර සෑ රජුන් වැඩ සිටින පුදබිමට යන පාර දෙපස සිටින මල් කෙල්ලන්ගෙන් බේරී යෑම ඉතාම අසීරු කාර්යයකි. කිරිවෙවෙහර වඳින්න මල් රැුගෙන ගිය ද එක මලක් හෝ ගන්නා තැනට ඔවුහු බැතිමතුන් පොළඹ වන්නාහ. ඒ ඔවුන්ගේ දක්‍ෂ මුඛරි බවය. එහෙත් කිරිවෙහෙර වඳින්න යන බැතිමතුන්ගේ දෙසවනට ඒ හඬ වදයක් බව සැබෑය. දැන් ඒ අමිහිරි කන්දොස්ගිරියාව අනුරාධපුර අටමස්ථානයේ සිරිමා බෝධීන් වහන්සේ අභිමුවෙන් ද ඇසෙන්න පටන්ගෙනය. මල්ලි මෙහේට එන්න… අයියේ, මල් ටිකක් ගමු අයියේ…

මහත්තයා ඔය පැත්තට යන්න එපා, මේ පැත්තටත් එන්න… ඔයාලත් ඒ පැත්තට ගිහාම අපේ මල් ගන්නෙ කවුද… මෙහේ එන්න කෝ…’‘ සිරිමා බෝධීන් වහන්සේ වැඩසිටින පූජා භූමියට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව අභියස වාහන නැවතුම්පළත් සමඟ මල් කඩ පේළියෙන් ඇසෙන ඒ හඬ අතිශය අමිහිරිය. සිරිමා බෝධීන් වහන්සේ වැඩසිටින උතුම් පුණ්‍ය භූමියට යන මගෙහි කරවල කඩ වැනි ඝෝෂාකාරී වෙළෙඳාමක් කෙරෙන මල් කඩ තිබීම අප‍්‍රසන්නය. අති උතුම් පුණ්‍ය භූමියක් අභියස මාළු, කරවල වෙළෙඳාම ගානට පත්කොට මල් විකිණීම සම්බුද්ධ ශාසනයට කරන නිග‍්‍රහයකි.

බල්ලො උඩු බුරනවා වගෙයි. මේක හරි කැතයි…‘‘ සුදුවතින් සැරසුණු වියපත් පිරිමි කෙනෙක් වැඩිහිටි කාන්තාවකට කියනවා මට ඇසිණි. ඒ කාලෙත් මල් කඩ තිබුණා. හොඳ මල් වෙළෙඳාමකුත් වුණා. ඒත් මේ වගෙ කන්දොස්ගිරියාවක් නම් තිබුණේ නෑ. අපි මේ එක කඩයකින්වත් මල් නොගෙන යමු…’’ ඒ වියපත් මිනිසා ඒකමතික තීරණයකට පැමිණියාය. එමෙන්ම වැදගත් පෙනුමක් ඇති, පයට පෑගෙන වැලි කැටවලට නොරිදෙන ගමනක නිරතව සිටින ඔවුන්ගේ මුහුණුවලින් පවා මල් කඩ කෙරෙහි ඇති වූ දැඩි පිළිකුල ප‍්‍රදර්ශනය විය. කතරගම, කිරිවෙහෙරට යන පාරේ මල් විකිණීමට කෑගහන්නෙ කාන්තාවන්ය.

අනුරාධපුර සිරිමා බෝධීන් වහන්සේ වැඩසිටින උත්තම පුණ්‍ය භූමියට යන මගෙහි මල් කඩවල කෑ මෝර දෙන බහුතරය පිරිමිය. මල් නොගෙන කඩ පසු කරගෙන යන විට ඇතැම් මල් වෙළෙන්දන් කෝපයෙන් දොඩවන හඬද නොඇසුණාම නොවේ. සිරිමා බෝධීන් වහන්සේ වන්දනා කිරීම ප‍්‍රමාද කර අප‍්‍රසන්න මල් වෙළෙඳාම දෙස මොහොතක් අපි බලා හිඳිමු. ඔය සුුදු පාට කාර් එකෙන් බැහැපු නෝනයි, මහත්තයි මෙහේට එන්න. අලූත්ම මල් තියෙන්නෙ අපි ළඟ. මේ දැන් ගෙනාවේ…’ මෝටර් රථයකින් බැස ඉදිරියට පැමිණෙන තරුණ යුවළකට එක් වෙළෙන්දෙක් එසේ කතා කරන විට තවත් මල් කඬේක කාන්තාවක් ඒ යුවළ දෙසට දෑතම දිගු කොට මල් ගන්නයි බෑගැහැපත් වන්නීය. වඳින්න පැමිණි ඒ යුවළ මුහුණට, මුහුණ බලා ගනිමින් මල්කඩ අතර දෝලනය වෙමින් සිටින අයුරු අපි බලා සිටියෙමු. කෑගහන එක විතරක් නෙමෙයි. මේ කඩවල මල් ගිනි ගණන්.

හරියට වැව් හාරලා නෙළුම්, මානෙල්, ඕලූ පැළ හිටවලා, මහ ධනස්කන්ධයක් යට කර නඩත්තු කරලා මල් අස්වැන්න නෙළාගෙන ඇවිත් වගෙයි. වැව්වලින් මල් කඩන අයගෙන් මලක් ගන්නෙ රුපියල් 1.50 යි. 2 යි. වැඩිම උණොත් 2.50 ක් වෙයි. මේ කඩවලට ගෙනත් පැන් ටිකක් ඉහළා එක මලක් විකුණන්නෙ රුපියල් පහළොවයි, විස්සයි. පොල් තෙල් කාලක් 150 ක් විතර වෙනවා. හඳුන්කූරු පෙට්ටියක්, 100, 80 යි. ගොඩක්ම හඳුන්කූරු පෙට්ටි ඒ අයම හදන ඒවා. ඒ විතරක් නෙමෙයි බැතිමතුන් ගෙනත් දෙන පළතුරු ටික පිරිසිදු කරලා කපලා පිළිවෙළට පූජා වට්ටියක් හදන්න රුපියල් අටසීයක් ගන්නවා.

ගමේ මිනිස්සු මල් ගන්න, පළතුරු වට්ටි හදන්න මෙතැනට එන්නෙ නෑ. පිටින් එන අයගෙන් අඩු නැතිව දත් ගලවනවා…’’ ඒ හඬ සිරිමා බෝධිය වඳින්න යන බැතිමතෙකුගේ නොවේ. මල්කඩ ව්‍යාපාරයට විරුද්ධ ගමේ කෙනෙකු ද නොවේ. සිරිමා බෝධියේ ආරක්‍ෂාවට සිටින ආරක්‍ෂක නිලධාරියෙක් කියන කතාවකි. මාස ගාණක් තිස්සේ සිට අනුරාධපුර අටමස්ථානයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින ඔහු සිරිමා බෝධියට යන මගෙහි මල්කඩවල වෙළෙඳාම ගැන හොඳින් දැන සිටින්නෙකි. මේ මල්කඩ අයිතිකාරයන් හැමෝටම කේඞීඑච් වෑන් තියෙන්නෙ. හොඳට සල්ලි වියදම් කරනවා. ඒත් මෙතැන ඉන්නෙ ඇඳුම්වල කහට පෙරාගෙන ලෝතෙ නැති ගානට.

ඒ වගේම මේ කඩවල වෙළෙඳාම් කරන අය සිප්ට් එකට මාරු වෙනවා. උදේ ඉඳලා තුන විතර වෙනකම් ඉන්නෙ වැඩිහිටි අය. එතැන ඉඳලා කඩ වහනකම් ඉන්නෙ ඒ වැඩිහිටියන්ගෙ දරුවො. පාසල් ගිහින් ආවාට පස්සෙ කාලා බීලා කෙළින්ම එන්නෙ මල්කඩවලට. ඒ වැඩිහිටියො හරියට ඉගෙනගෙනත් නෑ. ළමයින්ට උගන්වන්න මහන්සි වෙන්නෙත් නෑ. මේවා ගැන කතා කරනකොට අපිට ඇඬෙනවා…’’ මල්කඩවලට පර වෙන ‘මල් ජීවිත’ සම්බන්ධයෙන් එම ආරක්‍ෂක නිලධාරියාට සැබෑ වේදනාවක් ඇති බව ඔහුගේ කතාවෙන් අපට වැටහිණි. ඔහු තවත් බොහෝ කරුණු අපට පැවසීය. ඒ සියලූ කරුණු මේ ලිපියට අන්තර්ගත කිරීමට ඇවැසි නැතයි මට සිතිණි.

මේ මල් වට්ටිය කීයද…’ මල් කඩයක් ඉදිරිපිට පෙළගස්වා තිබුණු නෙළුම් මල් වට්ටියක් පෙන්නා එහි සිටි කාන්තාවගෙන් මම ඇසුවෙමි. මල් විසිඑකක් තියෙනවා. තුන්සීයක් දෙන්න…’ ඇය කියන මිලට අනුව එක මලක වටිනාකම රුපියල් 14. ශත 25 කි. මල් කඩන කෙනෙකුගෙන් ඔවුන් මලක් ගන්න උපරිම මිල රුපියල් 2.50 කි. මේ දාස්පෙතියා මල් වට්ටිය කීයද…’ මම තවත් මල් වට්ටියක් පෙන්නුවෙමි. ලොකු වට්ටියට හාරසීයක් දෙන්න. පොඩි වට්ටියට දෙසීයක් දෙන්න…’ වැඩිහිටි පෙනුමට තාරුණ්‍යය ආරෝපණය කිරීමට විවිධ විච්චූර්ණ එල්ලාගෙන පියරු බබෙක් සේ සිටි ඇයගේ මල් කඬේ රුපියල් එකසීය පනහට අඩුවෙන් කිසිදු මල් වට්ටියක් නොතිබිණි. මල් කඩ පේළියේ අනෙකුත් කඩවල විකිණීමට ඇති මල් වට්ටිවල ද මිලේ වෙනසක් නැත. සියලූ මල් කඩවල වෙළෙඳාම සිදුවන්නේ පෙර සිට කතා කරගත් අයුරිනි. එහෙත් එකිනෙකා පරයමින් වෙළෙඳාම කරගෙන යෑමට මල්කඩකාරයන් ගිරිය ලේ රහ වනතුරු කෑ මොර දෙති. දැන් මාළු කඩවලත් කෑගහන්නෙ නෑ.

කඬේට ගිහින් තමන්ට කැමති විදිහට මාළු තෝරගන්න ජාති කිහිපයක මාළු තියෙනවා. දැන් මුහුදේ දැල් අදිනකොටවත් කෑගහන්නෙ නෑ. මෙතැනට ඇවිත් ෆාක් එකේ වාහනය නතර කරන්න නෑ. මරළතෝනි දීලා මිනිස්සුන්ට කතා කරනවා. මේක මල්වලටත් කරන අපහාසයක්. මීට ඉස්සර මාධ්‍යයෙනුත් මේක වැරැුදි කියලා පෙන්නා දීලා තිබුණා. ඒ දවස් කිහිපයේදී විතරක් කෑගහන්නෙ නැතුව ඉඳලා නැවත කෑගහන්න පටන් ගත්තා. අපිත් විකුණන්නෙ මල්. අපිටත් කෑගහන්න කටවල් තියෙනවා. ඒ්ත් අපි එහෙම කළාම අපකීර්තියට පත් වෙන්නෙ මේ පූජනීය ස්ථානය…’’ ඒ කතා කළේ ද සිරිමා බෝධියට යන මගෙහි මල් කඩ පේළියේ මල් විකුණන කාන්තාවකි. තරුණ කාන්තාවක් වන ඇය මල් විකිණීමට කෑගහන්නෙ නැත.

බැතිමතුන් ළඟට පැමිණි විට සිත් ගන්නා ආකාරයට කතා බහ කර ගෞරවාන්විත වෙළෙඳාමක් කරගෙන යන කාන්තාවකි. මාළු කඩ ගානට පත් කරගෙන කෑගහගෙන මල් විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් ඇයට ඇත්තේ ද දැඩි පිළිකුලකි. මේ මල්කඩවලට පිටුපස තමයි උඩමළුවේ පොලිසිය තියෙන්නෙ. සිරිමා බෝධියට පිවිසෙන ප‍්‍රධාන දොරටුවේ ආරක්‍ෂාවට නිතරම පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ කෑගැහිල්ල ඒ මහත්වරුන්ටත් ඇහෙනවා. ඒත් ඊට විරුද්ධව ක‍්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ. පහුගිය තැපැල් ඡුන්ද දවස් දෙකේදී නම් පොලිසිය කියලා කෑගහන්නෙ නැතිව හිටියා. පොලිසිය කියනවා නම් අනිත් දවස්වලදීත් කෑගැහිල්ල නතර කරන්න පුළුවන්. පොලිසිය ඒ දේ කරන්නෙ නෑ. මේ මල්කඩ ඇතුළේ ගංජා, කුඩු බොන අය ඒ අවස්ථා ඉටු කරගන්නවා. අරක්කු බොන අය ඒ අවස්ථාව ඉටු කර ගන්නවා. පූජා භාණ්ඩ වෙළෙඳසල්වල සිගරට් විකිණීම තහනම් කරලා තියෙනවා.

ඒත් සමහර කඩවල සේෆ් එකේ සිගරට් විකුණනවා. පොලිසියේ මහත්වරු හොඳට ගඳ සුවඳ අඳුරනවා නේ. ඒත් ඒ මත්ලෝලීන්ට පොලිසියෙන් කිසිම ගැටලූවක් නෑ. සමහර පොලිස් රාළහාමිලත් ඇවිත් කඩවලින් සිගරට් අරගෙන යනවා අපිට පේනවා. එහෙම පුද්ගලයන්ගෙන් පොලිස් නිලධාරීන්ට වාසි තියෙනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. මෙතැන සිද්ධ වෙන හැම මගඩියකදීම පොලිසිය ඇස් වහගෙන ඉන්න විත්තිය අපිට තේරෙනවා…’’ දැන් මට අවුරුදු තිස් ගානක් වෙනවා. මට තේරෙන කාලේ ඉඳලා අම්මා එක්ක මල් කඬේට එනවා. ඒ කාලේ මේ විදිහේ ජරා බිස්නස් එකක් කෙරුණේ නෑ.

බොහෝම එකමුතුවෙන් වෙළෙඳාම කරගෙන ගියා. දැන් එකාට, එකෙක් නෑ. සල්ලිවලට හැමදේම යටයි. පූජා භූමියක නොවිය යුතු ගොඩක් දේවල් දැන් මෙතැන වෙනවා. ඒත් ඒවා ගැන හොයා බලන්න කිසිම කෙනෙක් නෑ. අපි ඕවට විරුද්ධව කතා කරන්න ගියොත් මෙතැන බිස්නස් එක කරගෙන යන්නත් බැරි වෙනවා. සමහර විට අකාලයේ මැරිලා යන්න වෙයි…’’ මල්කඩ සම්බන්ධයෙන් ඇය තවත් බොහෝ දේ කතා කිරීමට කැමත්තෙන් පසු වන බව පෙනේ. එහෙත් එකිනෙකට බද්ධව පිහිටි මල්කඩ තුළ රහස් කතා කිරීමට අසීරුය. එහෙයින් ඇය දැඩි පරිස්සමෙන් කතා කරන බව ද අපට වැටහිණි.

සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමියට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස වාහන නැවතුම්පොළත් සමඟ මල් කඩ විසිතුනකි. ඒ සියලූ වෙළෙඳසල් පාරම්පරිකව පැවත එන වෙළෙඳ කුටිය. මල්, තෙල්, හඳුන්කූරු, ඖෂධ පූජාවන්, මල් මාල, එළඟිතෙල්, අබ තෙල්, අනේකවිධ පහන් වර්ග ඇතුළු පූජා භාණ්ඩවලින් වෙළෙඳ කුටි පිරී ඇති බව සැබෑය. ඒ සියලූ භාණ්ඩ අධික මිලය. පූජා භාණ්ඩවල මිල ගණන් විමසීම, වඳින්න පැමිණෙන බැතිමතුන්ගේ ශ‍්‍රද්ධාවෙන් පිරුණු සිත් සතන් කම්පනය කරවන්නක් තරම්ය. එහෙත් වඳින්න පැමිණෙන සෑම කෙනෙකුටම මල් නෙළාගෙන පැමිණීමට නොහැකි බව සැබෑය. එළඟිතෙල් පහන් ඇතුළු විවිධ පහන් සකස් කරගැනීමට සෑම කෙනෙකුටම නොහැකිය.

එහෙයින් සද්භාවයෙන් යුක්තව, ශ‍්‍රද්ධාවන්ත සිතින් බුදුරාජාණන් වහන්සේ වෙනුවෙන් පින්කම් පැවැත්වීමට තවත් කෙනෙකුට උපකාර කිරීම විශාල පුණ්‍යකර්මයකි. එහෙයින් පූජා භාණ්ඩ පිළියෙළ කරදීම අරබයා යම් සාධාරණ මුදලක් අය කළද පින බාල්දු නොවේ. පූජා භාණ්ඩ වෙළෙඳාම යනු නිවැරැදිව කළොත් පින් පිරෙන පුණ්‍යකර්මයකි. එහෙයින් පූජා භාණ්ඩ ව්‍යාපාරිකයන් තම වෙළෙඳාමේ යථාර්ථය පැහැදිළිව අවබෝධ කරගත යුතුය.

අනුරාධපුර අටමස්ථානයේ සිරිමා බෝධීන් වහන්සේ වැඩසිටින උත්තම පුණ්‍ය භූමියට පිවිසෙන දොරටුව අභියස මල්කඩ අතර ද පින් රැස් කරගැනීමේ අවබෝධයෙන් වෙළෙඳාම කරගෙන යන ව්‍යාපාරිකයන් ඇත. එක වල්ලේ පොල් වුවද එකිනෙකට වෙනස්ය. එහෙත් කිරි කලයට ගොම බින්දුවක් වැටුණොත් කිරිවලින් ඇති ඵලක් නැත. අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ වැඩසිටින සිරිමා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට, නැරඹීමට දේශීය බැතිමතුන් පමණක් නොව, විදේශීය බෞද්ධයන් මෙන්ම දෙස් විදෙස් අබෞද්ධයන් ද පැමිණෙන බව සැබෑය. එම පුණ්‍ය භූමියට පිවිසෙන දොරටුව අභිමුවම කළුකඩ වැනි මල්කඩ දැකීම, මල්කඩ ඇසුරෙහි කරවල වෙළෙඳසලක ස්වරූපය දැකීම තුළින් බැතිබර සිත් තුළ ඇති වන තත්ත්වය කෙබදු වේද?

මෙරට සම්බුද්ධ ශාසනයේ මුදුන් මල්කඩක් බඳු සිරිමා බෝධීන් වහන්සේ අභියස මෙවැනි අප‍්‍රසන්න මල් වෙළෙඳාමක් ප‍්‍රදර්ශනය කිරීම බෞද්ධ කමට ගරහන අබෞද්ධයන්ට උඩගෙඩි දීමක් වැනිය. එහෙයින් සම්බුද්ධ ශාසනයේ නාමයෙන් සිරිමා බෝධීන් වහන්සේ ඉදිරිපිට කෙරෙන මේ අප‍්‍රසන්න මල් වෙළෙඳාම වෙනස් කළ යුතුය. කෑමෝර දීගෙන කරන වෙළෙඳාම නතර කර මල් කඩ භූමියට වීනිත බවක් එකතු කර බැතිමතුන්ගේ සිතැඟි පරිදි තෙල්, මල්, හඳුන්කූරු මිලටගැනීමට සුපසන් වෙළෙඳපොළක් නිර්මාණය කළ යුතුය. බැතිබර සිත් පහන් කරන, ඇඳුමින් සැර සී, පි‍්‍රය වචනයෙන් ගනුදෙනු කරන අයුරු මල්කඩ වෙළෙඳුන්ට පුරුදු කළ යුතුය.

එහෙයින් අපේ මේ වෑයම සිරිමා බෝධීන් වහන්සේ අභිමුව මල්කඩ වෙළෙඳුන්ගේ බඩට ගැසීම නොවේ. ඔවුන්ගේ මල් කුටි වසා දැමීමට ප‍්‍රස්තුතය නිර්මාණය කිරීම නොවේ. තම වෙළෙඳාමේ යථාර්ථය අවබෝධ කර දෙමින් විනයානුකූලව පූජා භාණ්ඩ වෙළෙඳාම කරගෙන යෑමට අවශ්‍ය මාර්ගොපදේශයක් ලබාදීමය. එමෙන්ම කරවල කඩ බඳු මල් කඩවල කළු කඩ වෙළෙඳාම නිසා බැතිබර සිත් තුළ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ කෙරෙහි අබ මල් රේණුවක් තරම්වත් අප‍්‍රසාදයක් ඇති වේ නම්, එය වැළැක්වීමය.

මෙරට සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගන්නා බවට දළදා හාමුුදුරුවන් ඉදිරියේ ප‍්‍රතිඥා දී සිටින බලධාරීන් මේ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වී එම මල්කඩ වෙළෙඳුන්ට වැරැුදි අවබෝධ කරදී ශ‍්‍රධාවන්ත මල් ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට පසුබට නොවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

තරංග රත්නවීර

Next Post

ප්‍රභාගේ ආහාර මුලින්ම පරික්ෂාකර කෑවේ මමයි – අද යාපනයේ එළවළු විකුණන ප්‍රභාකරන්ගේ බොඩිගාඩ්

Mon Sep 7 , 2020
රභාකරන් එල්.ටී.ටී.ඊ. යේ නායකත්වයට පත්වූ පසු ආරක්ෂාව වෙනුවෙන් ඔහුට විශ්වාවන්තම තරුණයින් පිරිසක් පත්කර ගෙන ඇත්තේ පුහුණුවීම් ලබාදීමෙන් පසුවය. ආරක්ෂක කටයුතු සැලසීමට තෝරාගත්තේද හොඳ කාය ශක්තියක් තිබූ තරුණයින්ය. ප්‍රභාගේ ආරක්ෂාවට පත්කරගත් ඒ තරුණයන්ද තම නායකයාගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් සොයා බලා ඇත.  එල්.ටී.ටී.ඊ. යට එරෙහිව ආරක්ෂක අංශ දැඩි පියවර ගත් පසු ප්‍රභාකරන් […]

තවත් මෙවැනිම පුවත්..........