ශ්‍රී ලංකා ධජය ඉහළට එසැවූ ක්‍රීඩා ශූරයා හෙට්ටිපොළ හන්දියේ බිත්තර විකුණයි

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි ඇතැම් නිලධාරීන් ජාතික ශූරතාව කුමක්ද කියා දන්නේ නෑ. කනිෂ්ඨ  තරගවලින් ජය ගත් අයට ජාතික ශූරතාවට හා සමාන ලකුණු දුන්නා. ඒ නිසා මූලික සුදුසුකම් නැති  අයදුම්කරුවන් අද ක්‍රීඩා නිලධාරීන් ලෙස සේවය කරනවා.  ඒ වුණාට මගෙන් විතරක්  ඉංග්‍රීසි පුළුවන් ද අහනවා

“මා ඉංග්‍රීසි භාෂාව නැතිව දෙස් – විදෙස් තරග බිම ජය ගත්තා. ඒත් ක්‍රීඩාවෙන් රැකියාවක් ගන්න ඉංග්‍රීසි ඉල්ලනවා. බිත්තර  විකුණන්න මට ඉංග්‍රීසි ඕනෑ නෑ. ඒ නිසා දරුවන් තිදෙනා හා බිරිය රැකගන්න  බිත්තරවලට අමතරව මා හෙට්ටිපොළ හන්දියේ පුවක් ටිකකුත් විකුණලා දැන් ජීවත් වෙනවා”

ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවා ජාත්‍යන්තරයේ හා දේශීය ක්‍රීඩා පිටියේ පදක්කම් දිනා දස්කම් දැක්වූ මලල ක්‍රීඩා ශූරයකු හා අතිදක්ෂ කබඩි පුහුණුකරුවකු වන අතපත්තු මුදියන්සේලාගේ චන්දන නිශාන්ත මහතා වයඹ පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී තනතුරකට ඉල්ලුම් කළද එය නොලැබී යෑම හේතුවෙන් ජීවත් වීමට පඬුවස්නුවර හෙට්ටිපොළ මංසන්ධියේ බිත්තර වෙළෙදාමේ යෙදී සිටියි.

වයඹ පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී තෙවැනි ශ්‍රේණියේ තනතුරට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක සියලු සුදුසුකම් සපුරා තිබියදී විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන ඉංග්‍රිසි භාෂාව පිළිබඳ දැනුම නොමැති බව පවසා එම රැකියාව ඔහුට අහිමි කොට ඇත. ඒ නිසා කීයක් හරි හම්බු කරගෙන දරු පවුලක් නඩත්තු කිරීමට ඔහු පාරට බැස සිටී.

“ මා ඉංග්‍රීසි භාෂාව නැතිව දෙස් – විදෙස් තරග බිම ජය ගත්තා. ඒත් ක්‍රීඩාවෙන් රැකියාවක් ගන්න ඉංග්‍රිසි ඉල්ලනවා. බිත්තර විකුණන්න මට ඉංග්‍රිසි ඕනෑ නෑ. ඒ නිසා දරුවන් තිදෙනා හා බිරිය රැකගන්න බිත්තරවලට අමතරව මා හෙට්ටිපොළ හන්දියේ පුවක් ටිකකුත් විකුණලා දැන් ජීවත් වෙනවා“ චන්දන නිශාන්ත මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

චන්දන නිශාන්ත ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ දස ප්‍රයාම ඉසවුවෙන් ලෝක මට්ටමට සුදුසුකම් ලැබූ පළමු ප්‍රවීණ මලල ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමින් ස්පාඤ්ඤයේ පැවැති ලෝක ප්‍රවීණ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 19වැනි ස්ථානයට පත් වූ ක්‍රීඩකයා වේ. වසර 2018දී ලෝකයේ අතිදක්ෂ ප්‍රවීණ ක්‍රීඩකයන් සහභාගී වූ එම ලෝක තරගාවලියේදී මීටර් 400 සහාය දිවීම, මීටර් 100 සහාය දිවීම හා මීටර් 110 කඩුලු මතින් දිවීම යන ඉසවුවලදී දක්ෂතා දැක්වීමට හෙතෙම සමත් විය.

එමෙන්ම 2017දී චීනයේ පැවැති ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම් දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ හෙතෙම ආසියාවේ දස ප්‍රයාම ඉසවුවේ වයස අවුරුදු 40ට වැඩි දක්ෂ ක්‍රීඩකයන් අතුරින් පළමු ස්ථානයේ ශ්‍රේණිගතව සිටින ක්‍රීඩකයා වීම විශේෂත්වයකි. 2016දී සිංගප්පූරුවේ පැවැති ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේ සිව්වැනි ස්ථානයට පත්වූ අතර කබඩි ක්‍රීඩාවෙන් ද ජාතික තලයේ දක්ෂතා දැක්වීය.

වසර 2000දී ජාතික යොවුන් කබඩි ශූරතාවලියේ ලෝකඩ පදක්කම, 2004දී එම ශූරතාවලියේ සිව්වැනි ස්ථානය හාඇතුළු ජයග්‍රහණ රැසක් ඔහු සතුව ඇත. මේ වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවේ පැවැති විවෘත ඉන්දීය කබඩි තරගාවලියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙතෙම සහභාගී විය. චන්දන නිශාන්ත මහතා මේ වනවිට ‘ඩී‘ ශ්‍රේණියේ පාඨමාලාව සමත් කබඩි පුහුණුකරුවෙකි. නිකවැරටිය ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ කබඩි පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී. කැලණියේ පවත්වාගෙන යන දකුණු ආසියා ක්‍රීඩා ඇකඩමිය යටතේ මලල ක්‍රීඩා විද්‍යා පාඨමාලාව සමත්ව සිටින ඔහු නායකත්ව පුහුණු පාඨමාලා ඇතුළු සුදුසුකම් රැසක් සම්පූර්ණ කර සිටී.

එහෙත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වයඹ පළාත් කාර්යාල සංකීර්ණයේ එම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී තෙවැනි ශ්‍රේණියේ තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණයට චන්දන නිශාන්ත මහතා සහභාගී විය.

එම සම්මුඛ පරීක්ෂණය අදියර කිහිපයක් යටතේ පරීක්ෂණ මණ්ඩල කිහිපයකින් යුතුව පවත්වා තිබේ. පරීක්ෂණ මණ්ඩලයේ අභිමතය පරිදි ලකුණු දුන් බව චන්දන නිශාන්ත මහතා පවසයි.

“සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි ඇතැම් නිලධාරීන් ජාතික ශූරතාව කුමක් ද කියා දන්නේ නෑ. කනිෂ්ඨ තරගවලින් ජය ගත් අයට ජාතික ශූරතාවට හා සමාන ලකුණු දුන්නා. ඒ නිසා මූලික සුදුසුකම් නැති අයදුම්කරුවන් අද ක්‍රීඩා නිලධාරීන් ලෙස සේවය කරනවා. ඒ වුණාට මගෙන් විතරක් ඉංග්‍රීසි පුළුවන් ද අහනවා“ චන්දන නිශාන්ත මහතා පැවැසීය.

වයඹ පළාතේ දැනට ක්‍රියාත්මකව නොපවතින ක්‍රීඩා වෙනුවෙන් ද පත්වීම් දී ඇතැයි පවසන චන්දන නිශාන්ත මහතා තම පළාතට අවශ්‍යම ක්‍රීඩා සදහා ක්‍රීඩා නිලධාරීන් නොමැතිවීමේ අඩුපාඩුව බරපතළ එකක් බවද පෙන්වා දෙයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ස්ථීර ආදායමක් නැති තමන්ට පුතුන් දෙදෙනකු හා දියණියක ඇතුළු සිය පවුල නඩත්තුව අභියෝගයක් බවද සදහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර‍

Next Post

තෙල් නැවෙන් මුහුදට තෙල් කාන්දුවීම් අවදානමක් - නෞකාවේ පිපුරුම් දෙකක් - සමබරතාවයත් ගිලිහෙයි

Fri Sep 4 , 2020
අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනිගැනීමක් සිදුව ඇති නිවු ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බව සමුද්‍ර පරිසර අධිකාරිය සඳහන් කරයි. නමුත් මේ දක්වා එම නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදු වී නැතැයි ද එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.පිපිරීම් හේතුවෙන් නැවේ සමබරතාවය ගිලිහෙමින් පවතින බවද ඔහු කියා සිටියේය. නැව […]

Breaking News