නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින නෞකාවේ ගින්න අද (4) පස්වරුව වන විට යම්තාක් දුරට නිවා දැමීමට නාවික හමුදාව සමත්ව තිබේ.
ලංකාවට නැගෙනහිර මුහුදේ පොතුවිල් (සංගමන්කන්ද) ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 22 ක් පමණ දුරින් ගිනිගෙන වෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇතැම් විට දින කිහිපයක් ගතවිය හැකි යැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් (ක්‍රියාන්විත) රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට මුහුදු සැතපුම් 38ක් පමණ දුරින් තිබියදී ගිනිගත් මෙම නෞකාවේ එන්ජිම මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බැවින් එය ශ්‍රී ලංකාව දෙසට තල්ලු වෙමින් පැමිණ අද (4) දහවල් වන විට මුහුදු තීරයට නාවික සැතපුම් 22ක් පමණ ආසන්න වී තිබූ බව ද රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
පැනමා ධජය යටතේ ගමන් කරමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ නම් මෙම නෞකාව ඉරාකයේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් තිබී ඇති අතර එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 1,700ක් පමණ ඇතත් එයින් එම ඉන්ධන කාන්දුවීමේ අවදානමක් මෙතෙක් මතුව නැතැයි ද ඔහු සඳහන් කළේය.
රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවත්, ඉන්දීය නාවික හමුදාව හා එරට වෙරළාරක්ෂක හමුදාවත් එක්ව මෙහෙයුමක් ආරම්භ කරමින් සිටින බව ද නන්දන ජයරත්න මහතා කීවේය.
මෙහි ගින්න පාලනය කළත් එහි දුම නැගීම තවත් සති ගණනක් පැවතිය හැකි බව ද නාවික හමුදා අධ්යක්ෂ පෙනරාල්වරයා පැවසීය. ගින්න පාලනය කළ පසු නෞකා හිමි සමාගමට එය ඉවත් කරගැනීමට බාරදෙන බව කී රියර් අද්මිරාල් ජයරත්න මහතා එය ඇත්තේ ඉතා ගැඹුරු මුහුදේ බැවින් නැවට හානිවීමේ හැකියාව අඩු බව ද ප්‍රකාශ කළේය.
නෞකාවේ බොයිලේරුවේ පිපිරීමකින් එහි එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බව කී ඒ මහතා ගින්න බොරතෙල් ගබඩා කර ඇති කොටස දක්වා පැතිරයාමේ අවදානම අඩු බව ද කීවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ටග් යාත්‍රා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම් අයි 17, බෙල් 212, ආදී ගුවන් යානා, ඉන්දීය වෙරළාරක්ෂක හා නාවික හමුදා නෞකා දෙකක්, ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ ගුවන් යානා ආදිය මේ සඳහා යොදවා ඇති බවත්, ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාවට අයත් විශේෂ උපකරණ සහිත තවත් ගුවන් යානා දෙකක් අද (4) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ බවත් රියර් අද්මිරාල්වරයා පැවසීය.