තෙල් නැවෙන් මුහුදට තෙල් කාන්දුවීම් අවදානමක් – නෞකාවේ පිපුරුම් දෙකක් – සමබරතාවයත් ගිලිහෙයි

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනිගැනීමක් සිදුව ඇති නිවු ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බව සමුද්‍ර පරිසර අධිකාරිය සඳහන් කරයි.

නමුත් මේ දක්වා එම නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදු වී නැතැයි ද එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.පිපිරීම් හේතුවෙන් නැවේ සමබරතාවය ගිලිහෙමින් පවතින බවද ඔහු කියා සිටියේය.

නැව තුල ඇතිවී තිබෙන ගින්න නිවීම සඳහා නාවික හමුදා සමග එක්ව කටයුතු කරමින් තවදුරටත් කටයුතු කරමින් සිටී.

සමුද්‍ර පරිසර අධිකාරිය සදහන් කරන්නේ මෙම නැවේ බොරතෙල් මුහුදට එක්වුවහොත් එය ලෝකයේ විශාලතම සමුද‍්‍රිය පරිසර හානියක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මුහුදට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන තෙල් නෞකාවෙන්, ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීමේ අවදානමක් ඇතැයි ද ගින්න තවමත් පාලනය කරගත නොහැකි තත්ත්වයක පවතින බවත් විදෙස් මාධ්‍ය අද (4) වාර්තා කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය එක්ව ජලය ඉහිමින් ගින්න නිවීමට පාලනය කරන අතර ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට එක්ව තිබුණේ යැයි ප්‍රංශ පුවත් සේවය ඊයේ වාර්තා කර තිබිණි.

‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි.

කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම මත ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා තුනක් සහ ගුවන් යානයක් පිටත් කළ බව එන්.ඩී.ටීවී. පුවත් සේවය පෙරේදා වාර්තා කළේය. ඊට අමතරව තවත් ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් ගින්න නිවීමට සහාය වීම සඳහා පැමිණ ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.

නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පිලිපීන ජාතිකයකු මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මෙම ගින්න ඇතිවූයේ බ්‍රහස්පතින්දා, එනම් පෙරේදා ය.

කාර්ය මණ්ඩලයේ ඉතිරි 22 දෙදෙනා (ග්‍රීක ජාතිකයන් පස්දෙනකු-පිලිපීන ජාතිකයන් 17 දෙනකු) මුදා ගැනීමට හැකි වූ බව ද නිලධාරීහු කීහ.

මීටර 330ක් දිගැති මෙම නෞකාවේ භාණ්ඩ ඇති කොටස ගින්න ව්‍යාප්ත වී නැතැයි නිලධාරීහු ඊයේ (4) පෙරවරුවේ කීහ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට කිලෝමීටර 60ක් දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව තුළ මෙම ගින්න ඇති වී තිබේ.

ගින්න වර්ධනය වීමත් සමඟ නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දෙසට ඇදගෙන පැමිණි බවත් එය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට කිලෝමීටර 10ක් දුරින් ඇති බවත් නිලධාරීහු කීහ.

මුහුදු මට්ටමේ මීටර 10ක් ඉහළින් නෞකාවේ බඳ කොටසේ මීටර දෙකක පැල්මක් ඇති වී ඇතැයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේය.

නෞකාව අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගුවන් යානාද යොදවා ඇත. නෞඛාවෙන් තෙල් කාන්දුවීමේ අවදානමක් නැතැයි ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

‘‘මේක පේන තරම් නරක නැහැ. ගින්න භාණ්ඩ තිබෙන කොටසට පැතිරිලා නැහැ. ගින්න පාලනය කළ පසු ගැඹුරු මුහුද දෙසට නෞකාව තල්ලු කරගෙන යනවා’’ යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී සුදන්ත රණසිංහ මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

නෞකාව මුදා ගැනීමට පෙර එහි තිබෙන බොරතෙල් තොගය වෙනත් නෞකාවකට මාරු කිරීම කෙරෙහි සලකා බලන බව ද හෙතෙම කීය.






Next Post

තරමක් දුරට නිවා දමයි - නැවේ එන්ජිම ක්‍රීයා විරහිත නිසා අපේ වෙරලට තල්ලු වෙලා

Fri Sep 4 , 2020
නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින නෞකාවේ ගින්න අද (4) පස්වරුව වන විට යම්තාක් දුරට නිවා දැමීමට නාවික හමුදාව සමත්ව තිබේ. ලංකාවට නැගෙනහිර මුහුදේ පොතුවිල් (සංගමන්කන්ද) ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 22 ක් පමණ දුරින් ගිනිගෙන වෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇතැම් විට දින කිහිපයක් ගතවිය හැකි යැයි ශ්‍රී […]