රජයේ මුළු ණය ප්‍රමාණය මේ වසරේ (2020) මුල් මාස හය අවසානයේදී රුපියල් ට්‍රිලියනයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
2019 වසර අවසානයේදී රු. බිලියන 13,031.5 ක්ව පැවති රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 ජූනි මස අවසානය වන විට රු. බිලියන 14052.2 ක් දක්වා රු. බිලියන 1020.7 කින් වැඩි වී තිබේ.රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසයේ දී ඉතිහාසයේ ප්‍රථම වරට රු. බිලියන 14000 සීමාව ඉක්මවා ගියේය. මෙම මුළු ණය ප්‍රමාණය 2020 මැයි මාසය අවසාන වන විට රු. බිලියන 13895.9 ක් දක්වා අඩු වී තිබුණි. එහෙත් එම අගය නැවත වරක් රු. බිලියන 14052.2 ක් දක්වා ඉකුත් ජූනි මාසය අවසාන වන විට වර්ධනය වී ඇත.
මේ අනුව රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස හය තුළ දී රු. බිලියන 6629.1 සිට රු. බිලියන 7530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 6402.4 සිට රු. බිලියන 6521.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද මහා බැංකුවේ නවතම වාර්තාවේ තවදුරටත් සදහන් වේ.ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින