ජීවිතේ අමාරුම තැන් අල්ලන් ඉන්න, වැටෙන්න එපා – මරණයෙන් නැඟී සිටි සචිත් පීරිස් මෙතෙක් නොකියූ කතාව

ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතයේ විවිධ අවස්ථාවල අපි විවිධ ප‍්‍රශ්නවලට මුහුණදෙනවා. ඒ වගේම විවිධ කඩඉම් පසුකරනවා. හිතන්නකෝ වෙලාවකට මරණය වගේ කඩඉමක් පසු කරන්න වෙනවා කියලා. එහෙමත් නැතිනම් මරණයේ කඩඉමට ඇවිත් ආපහු ගොඩ එන්න ලැබෙනවා කියලා.මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම මරණයේ කඩඉම ළඟට ම ඇවිත් ජීවිතයත් තමන් විසින්ම නැති කරගන්න ගිහින් ආපහු ජීවත් වෙන්න ඕනෑ කියලා හිතපු තරුණයෙක් අපිට මුණ ගැහෙනවා. ඔහු මේ දිනවල අන්තර්ජාලයේ හරි ජනප‍්‍රිය තරුණයෙක්. ඔහුගේ විඩියෝව ඔබත් නරඹලා ඇති. ඒ දෙයට වඩා දෙයක් මේ කතාව ඇතුළේ තියෙනවා. ඔහු නමින් සචිත් පීරිස්. කියවල බලන්නකෝ මේ කතාව.

• සචිත් කාලෙකට පස්සේ වැඩ පටන් අරගෙන කියන්නේ?

ඔව්. ගොඩක් කාලෙකට පස්සේ මම සද්දයක් නැතිව හිටියා. දැන් මගේ අලූත් සින්දු එක්ක ආපහු වතාවක් මගේ රසිකයෝ අතරට එන්න සූදානම් වෙනවා. ගොඩක් වෙලාවට පරණ නාඩගම් කියන හීනයයි වීඩියෝ එකයි මුලින්ම එයි. ආපහු ගායකයෙක් විදිහට රසිකයෝ අතරට.

ගායකයෙක් හා සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදිහට තමයි රසිකයෝ අතරට එන්නේ. මොකද මෙච්චර කල් මගේ සින්දු මම මයි සංගීත අධ්‍යක්‍ෂණය සිදු කළේ.

• ඔබේ ගමනේ ආරම්භය?

මම ගුවන් නියමුවෙක් වෙන්න තමයි පාසල් යන කාලයේ අධ්‍යාපනය හැදැරුවේ. ඊට පස්සේ උසස් පෙළ අන්තිම කාලයේ සින්දු කියන්න ආසවක් ඇති වෙලා භාතිය සන්තුෂ්ට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මට හම්බවෙනවා එහිදී එරංග ජයවර්ධන කියන සංගීත අධ්‍යක්‍ෂකව. ඔහු තමයි දම්පාට හැන්දැවේ, කවිකාර හැන්දැවේ, කියන ගීත දෙක නිර්මාණය කළේ. එරංග මට මුලින්ම පොඞ්ඩ පොඞ්ඩ ඕඩියෝ ඉංජිනියරිං ගැන කියලා දෙනවා. උසස් පෙළ අවසන් වෙනකොට මට කතා කරනවා භාතියලා, ඔවුන්ගේ ඕඩියෝ ඉංජිනියරිං ඇසිස්ටන් විදිහට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මට සින්දු කියන්නත් බෑ. ප්ලේ කරන්නත් බෑ. භාතිය මට මුල ඉඳන්ම ටේ‍්‍රනින් එකක් දෙනවා. ඒ ටේ‍්‍රනින් එකේ මුලින්ම තිබුණේ සින්දු කියන අයගේ උස අනුව මයික් එක උස් පහත් කරන එකයි. හවසට වයර් ටික පිළිවෙළට සකස් කරල තියෙන එකයි. ස්ටුඩියේ එක පිහිදාන එකයි විතරයි. ඊට පස්සේ කට්ටිය වැඩ කරන එක බලාගෙන ඉන්න එකයි. කොහොම හරි ඕක බලාගෙන ඉඳල මම කම්පියුටර් එකක් තියාගෙන සංගීතය ඉගෙන ගත්තා. සින්දු හදන සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගත්ත. ඔහොම කරලා මගේ පළමු නිර්මාණය එළිදැක්වූවා නාමල් මිටක් කියන ගීතය. නිලාර් එන්. කාසීම් තමයි ගීතය ලිව්වේ රන්දීර් විතාන තමයි ගීතය ගායනා කළේ.

• ගායන හැකියාව

ඒ කාලේ වෙන කොටත් මට සින්දු කියන්න බැහැ. ඊට පස්සේ මම යූ ටියුබ් හරහා වෝකල් ටේ‍්‍රනින් වෙලා සින්දු කරන්න පුරුදු වුණා. සින්දු කියන්න පුරුදු වුණාම මට රුං රුං ගා කියන ගීතය ගායනා කළා. ඒත් එක්කම භාතියලාගේ ගොඩක් ගීතවලට සම්බන්ධ වුණා. ශ‍්‍රී ලංකා මගේ පෑ විස්කම් බෝමා, සකීනා, හිත නාඹර තාලෙට, ඔයා මගේ නම්, ජීවිතේ මල්, පැතූ පෙම් පැතුම්, කස්තුරි සුවඳක්, මා හඬවලා, මාස්ටර් සර් වගේ ඒ කාලේ භාතියලාගේ ජනප‍්‍රිය ගීතවල ඕඩියෝ ඉංජිනේරුවා විදිහටත් මම මික්සිං මාස්ටරින් වැඩක් කළා. ඒත් සමගම මම වෙළෙඳ දැන්වීම් කරණයටත් සම්බන්ධ වෙනවා.

• එතකොට ඔබ භාතියලාගෙන් ඉවත් වෙන්නේ?

භාතියලාගේ ස්ටුඩියෝ එකෙන් ඉවත් වෙන්නේ 2009 වසරේ. මම ඒ කාලේ ගොඩක් වෙළෙඳ දැන්වීම්වල සංගීත අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කරනවා. ඒ කාලේ එක වෙළෙඳ දැන්වීමක් ලංකාවේ තිබුණ හැම සම්මාන උළෙලකම ගොඩක් ජනප‍්‍රිය වෙනවා. ඒ මොබිටෙල් වෙළෙඳ දැන්වීම. ඒකට පිටරට පවා සම්මාන හිමිවුණා. එතැනින් පටන්ගත්ත ම මට කියලා වෙළෙඳ දැන්වීම්වල සංගීතය කරගන්න වැල නොකැඞී එන්න පටන් ගත්තා. ඒ කරපු කරපු හැම එකේම සම්මාන උළෙලවලදී ඇගයීමට ලක් වුණා. මම කරපු එක වෙළෙඳ දැන්වීමක් ලෝකයේම අංක එක බවට පත්වෙනවා. වෙළෙඳ දැන්වීම් ලක්‍ෂයකින් තමයි අංක එකට මම කරපු වෙළෙඳ දැන්විම පත් වෙන්නේ.

• ඉන්දියාවෙන් ආරධනයක්?

ඔව්. මට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබෙනවා බැක්ග‍්‍රවුන්ඞ් මියුසික්වල වැඩ කරන්න.

• ඔබේ ස්ටුඩියෝ එකක්?

2010 තමයි මගේ ස්ටුඩියෝ එක ෆයර් ෆොක්ස් කියලා ආරම්භ කරන්නේ. එතකොට තමයි මම භාතියලගෙන් ඉවත් වුණේ.

• රාණි මුඛර්ජි?

මම ඔවුන්ගෙන් ඉවත්වෙලා පළමු වෙන්ම කරපු ගීතය තමයි රාණි මුඛර්ජි වාගේ ඇවිල්ලා කියන ගීතය. එතකොට රුං රුං ගා..ගා.. කියන ගීතයෙන්. මගේ හඬ ජනප‍්‍රිය වෙලා තිබුණා. ඒත් එක්කම ගොවි ගීතයෙන් මගේ රූපය දැකල තිබුණට කට්ටිය මාව එච්චර අඳුරන්නේ නැහැ. ඉතිං රාණි මුඛර්ජි ගීතයෙන් තමයි මාව අඳුරගත්තේ.

ඒ කාලේ හරි ජනප‍්‍රියයි. මගේ ගීතය. අලූතෙන් රසික රසිකාවියෝ පිරිසක් මට එකතු වුණා. රාණි මුඛර්ජි ගීතය මගේම නිර්මාණයක්. මට ගායනා කරන ගීතවල සංගීතය සිදු කරන්නේ මම ම තමයි. රාණි මුඛර්ජි ගීතය බෙර පැත්ත ප්ලේ කරන්න මම ඉන්දියාවට යනවා. ඒවා කරන්නේ ඒ. ආර්. රහුමාන්ගේ ගීතවල ප්ලේ කරපු ලක්‍ෂ්මී නාරායන් තමයි ප්ලේ කරන්නේ. ගීතය ලිව්වේ ශෙනාත් ගලහිටියාව.

• ඊට පස්සේ?

ඊට පස්සේ මම ගීත නිර්මාණය කළා. නමුත් හරි විදිහට රිලීස් කරන්න සිද්ධ වුණේ නැහැ. ඒක ඉවර වෙන කාලයත් එක්කම මම පොඞ්ඩක් විතර නිහඬ වෙන්න පටන් ගත්තා. පෞද්ගලික හේතුවක් මත.

• සචිත්ගේ නිහඬ වීම?

ඒක මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මම කියලා තියෙනවා. මම පොඩි අසනීප තත්ත්වයකට මුහුණදෙනවා. හැබැයි කොමර්ෂල්වල මියුසික් කරන එක අඩු වෙන්නෙ නැහැ. හැබැයි ටික කාලයක් යන කොට ඒවත් මට කරගන්න බැරි වෙනවා. මීට අවුරුදු එකහමාරකට කලින් වෙන තුරුම කථා මට මේ තත්ත්වය තිබුණා. අන්තිමේදී මට සින්දු කියන්න බැරිව ගියා. ටික ටික මම ඒවට පුරුදු වෙන්න ගත්තා.

• අසනීපය දරුණු වීම.

මම අසනීපයට බෙහෙත් කළාහම පසු අසනීප තත්ත්වයට මුහුණ දෙනවා. ඒක හින්දා මගේ ශ්වසනාළය පොඩිවෙලා හුස්ම නතරවෙන්න ගන්නවා. හුස්ම හිරවෙලා වැටෙන්න ගන්නවා. ඒකත් එක්ක මම සෑහෙන ලොකු අපහසුතාවයකට පත්වෙන්න ගත්තා. මීට අවුරුදු එකහමාරකට කලින් ඒ අසනීප තත්ත්වය සුව වෙලා ආපහු වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් සුවයි. දැන් මට හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැති ගාණට සුවයි. කාලයක් තිබුණා මට එක පැත්තකටවත් නිදා ගන්න බැරි කාලයක්. ඉතිං මම ඒ හැමදේම පසුකරගනෙ ඇවිත්.

• සුවවෙලා කොච්චර කල්ද?

දැනට අවුරුදු එකහාමාරකට දෙකකට කලින් තමයි මට සුවය ලැබෙන්නේ. එත් මේ දවස්වල පොඩි පොඩි ශ්වසන අපහසුතා තිබුණා. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැහැ.

• නිහඬ වූ සචිත් මුහුණපොතේ හරි ක‍්‍රියාශීලි චරිතයක්

ඒකට හේතුව මට සින්දු කියන්න බැරුව ගියහම වෙන කරන්න දෙයක් නැතිව ගියා. එතකොට මම මිනිස්සුන්ගෙන් ඈත්වෙලා රටවටා ඇවිදින්න පටන් ගත්තා. ඒත් එක්කම ෆොටෝ ගන්න ගත්තා. ඒ දේවල් වලින් තමයි මගේ මුහුණුපොත පිරුණේ. මම ගත්තු ෆොටොස්වලට ආදරය කරපු රසිකයෝ පිරිසකුත් මට එකතුවෙන් පටන් ගත්තා. මට සින්දු කියන් බැරිව ගිය හින්දා වීඩියෝ අධ්‍යක්‍ෂණය ඉගෙන ගත්තා. ඒවත් සෑහෙන ගොඩක් කළා.

• මනසින් වැටුණේ නැතිද?

ඒ කාලේ සැහෙන ප‍්‍රශ්න ගොඩක් ආවා. මට සින්දු කියන්න බරි වෙච්ච එකම මට ලොකු ප‍්‍රශ්නයක්. සින්දු කියන්න බැරි වුණාට සින්දු හදන්න පුළුවන් වුණානම් ඒක මට ප‍්‍රශ්නයක් නෙමෙයි. නමුත් මට ඒකත් බැරිව ගියා. අපි කියන විදිහට ක‍්‍රියේටිවිව් එක නැති වුණා. වැඩ ආවා ඒවා කරලා දුන්නහම ෆේල් වෙනවා. හැබැයි මම දරා ගත්ත. අමාරුවෙන් මනසින් වැටුණේ නැහැ. මම දන්නවා. ඕනෑම දෙයක් වෙන්නේ හොඳට කියලා. ප‍්‍රශ්නයක් ප‍්‍රශ්නයක් වෙන්නේ ඒක ප‍්‍රශ්නයක් විදිහට හිතුවොත් විතරයි.

• ඒ කියන්නේ ජීවිතයේ අමාරු කාලයක් එනවා. ඒක අපි ජයගන්න ඕනද?

ජීවිතයේ ලොකු පිම්මක් පැන්නා. ජීවිතයේ ලොකු පිම්මක් කියන්නේ මම ඒ කාලයේ ලොකු අත්දැකීම් ටිකක් ලබාගත්තා. මම විශ්වාස කරන දෙයක් තමයි අටලෝ දහමට කම්පා නොවී සිටිීම. ඉතිං මම ඒක හොඳට අනුගමනය කරන හින්දා දුක, සැප, ලාභ, අලාභ කියන ඔය හැමදේම වින්දා.

• ඒ කාලේ ඔබ වටා සිටි මිතුරන්

මෙහෙමයි. මිතුරන් ගොඩක් හිටියා. නමුත් මම අසනීප වුණා කියලා දන්නේ නැති මිතුරන් පිරිසකුත් හිටියා. සමහරු හොයා ගන්නත් බැරි වුණා. දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි ඉතුරු වුණේ. මම හිතන විදිහට හැමෝටම වැඩ තියෙනවා. එත්, මම කාටවත් කියලා නැහැ මාත් එක්ක ඉන්න කියලා.

• ජීවිතයේ නැඟිටීමේ ශක්තිය හදා ගත්තේ කොහොමද?ඒ ශක්තිය අපි හිතින්ම හදාගන්න ඕනද?

අපි හැමදේම නෑ බෑ කිව්වොත් ඒක නෑ බෑ තමයි. අපි කවදාවත් හිතන දේවල් ජීවිතයේදී වෙන්නෙ නෑ. මම ඕනෑම කෙනෙකුට කියන්නේ අපිට ප‍්‍රශ්නයක් ආවොත් අපිට වඩා ප‍්‍රශ්න මේ ලොකෝ තියන අය ඉන්නවා කියන එකයි. ගොඩක් අය මම දැකල තියෙනවා ඒ ගොල්ලෝ විහින් ඇඟට දාගත්තු ප‍්‍රශ්න තමයි තියෙන්නේ.

ඇවිත් ආපහු වැඩ කරනවා කියලා හිතෙන එහෙම හිතෙන කොට ආපහු හිතෙනවා දැන් ඇති කියල. මම ඒ වෙනකොට ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල, ධනාත්මක චින්තනය ගැන දේශන දෙන්න යනවා. ඒ වෙලාවේ මම හිතුවේ මම කාටවත් ධෛර්ය දෙන්න කලින් මම ධෛර්යවත් වෙන් ඕනෑ කියලා. මොකද මම කල්පනා කළේ අපිව මෝටිවේට් දෙන්න ආපු මනුස්සයත් මැරුණානම් අපි මොකදට මේ මෝටිවෙට් කරන්න කියලා. ඊට පස්සේ තමයි තවත් හිත හයිය කරගෙන අද ඉන්න තැනට ඇවිත් ඉන්නේ.

• ඇත්තටම ඔබ අද ජීවිතය දිනුපු තරුණයෙක්?

ඇත්තටම මම ජීවිතය දිනපු තරුණයෙක්. මේ වෙනකොටත් මට මැසේජස්, කමෙන්ට්ස්, කෝල්ස් දහස් ගණනක් එනවා. මගේ ෆේස්බුක් එකට මගේ ෆෑන් පේජ් එකට ඉන්ටර්ග‍්‍රෑම් එකට. වට්ස් ඇප් එකට. මට කියන්න බැරි ගාණට එනවා. ඒවගේ ගොඩක් තියෙන්නේ විශාදයෙන් පෙළෙන අයගේ ප‍්‍රශ්න. ගොඩක් වෙලාවට ආදරයෙන් පැරදිලා සියදිවි හානි කරගන්න යන අය මට කතා කරලා කියන්නේ අයියාගේ මේ වීඩියෝ එක දැක්කහම අපි මැරෙන්න හදපු ප‍්‍රශ්න ප‍්‍රශ්නද කියලා. මම හිතාගත්ත ඒ වගේ අය වෙනුවෙන් යම්කිසි වැඩ සටහනක් කරන්න. ජීවිතය කියන්නේ මාර වැදගත් දෙයක්. අපිට මේ ජීවිතය ලැබෙන්නේ මේ ලෝකයට දෙයක් කරන්න. හැබැයි මමත් මුලදී ඒ ජීවිතය අඳුරගත්තේ නැහැ. පස්සේ තමයි අඳුරගත්තේ.

• ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්

ගොඩක්ම සතුටුයි. මම ජීවිතයට ගොඩක් අත්දැකීම් අරගෙන තියෙනවා. අතීතයේ වුණ දේවල් මම අයියෝ අනේ කියලා සලකන්නේ නැහැ. වෙච්ච හැමදේම හැම දවසේම හිතුවේ අලූත් පාඩමක් ඉගෙන ගන්නවා කියලයි. මම අතීතය ගැන හෝ මට නැතිවුණ දෙයක් ගැන තියෙනවා නම් කිසිම වෙලාවක පසු තැවෙන්නේ නැහැ.

• ආර්ථික අතින් ශක්තිමත් වුණේ කොහොමද?

මම අසනීප වෙලා මම සිංගප්පුරුවේ බෙහෙත් කළා. ඒ කාලේ හම්බ කරපු සියලූම සල්ලි ඒ දේවල්වලට නැති වුණා. මහන්සි වුණහම සල්ලි කියන දේ හම්බ කරගන්න පුළුවන්. හැබැයි ජීවිතය ආපහු අපිට ගෙන එන්න බැහැ. කෙනෙක් කියන්න පුළුවන් මෙයාට සල්ලි තිබුණ හින්දා බෙහෙත් කළා කියලා. එහෙම කියන්න බැහැ.

• කිසි කෙනෙකුගේ උදව්වක් ඉල්ලූවේ නැත්තේ ඇයි?

ඒක තමයි මම මුල ඉඳන් කිව්වේ. අපි අපේ හිත හදාගන්න ඕනෑ, මම මේක කොහොම හරි කරනවා කියලා. මම අසනීප වුණ වෙලාවේ කාගෙන්වත් උදව්වක් ඉල්ලූවේ නැහැ. මට ආධාර දෙන්න කිව්වෙත් නැහැ. මං වෙනුවෙන් කොන්සර්ට් එකක් කරන්න කිව්වෙත් නැහැ. හේතුව මගේ අතපය හතර වැඩ කරනවානේ. මම දැනගන්න ඕනෑ පොල් ගහකට නැඟලා හරි සල්ලි හොයාගන්න. අපි හිතුවොත් කවුරුහරි අපේ අතට සල්ලි ගෙනත් දේවි කියලා ඒ හරි වැරදි තීරණයක්. අපි අහල තියෙනවානේ තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා කතාවක්. අපි නැඟිටින්න ඕනෑ අපිම හිතලා. හැම වෙලේම හිතන්න ඕනෑ ධනාත්මක විදිහට. එහෙම හිතුවොත් විශ්වයත් අපිට නැඟටින්න උදව් කරනවා. මට වුණේ ඒකයි.

• මේ කතාව කියන්න සුදුසුම වේලාව හින්දාද ඔබ මේ කතාව සමාජයට මුදාහරියෙ?

ඇත්තටම මම වෙලාවක් ගැන හිතන්නේ නැහැ. මේ සුදුසු වෙලාවද සුදුසුනැති වෙලාවද කියලා නැහැ. මට මේ කතා කරපු වෙලාව ඔය කියන ඉන්ටර්විව් එකට කතා කළහම මම බැහැ කියනවා. පස්සේ මම කිව්වා කවුරුහරි වෙනුවෙන් මගේ කතාව කියන්නම්. කාට හරි කෙනෙක්ට මගේ ජීවිතය බලලා හැදෙන්න පුළුවන් නිසා. ඒ නිසයි මම තීරණය කළේ මේ කතාව කියන්න. ඉතිං ඒකට වෙලාවක් කලාවක් බලල, කරපු දෙයක නෙමෙයි,මේක. මම මේ ගත්තේ හරි තීරණයක්. ඒක නිසානේ මේ තරම් මට මැසේජස්, දුරකථන ඇමතුම් ගලාගෙන එන්නේ. මම තරම් ඒක ගැන සතුටුවෙන කෙනෙක් වෙන කවුරුවත් නැතිව ඇති.

• සචිත් දැන් ජවසම්පන්න තරුණයෙක්?

අනිවාර්යයෙන්ම ඉස්සටත් වඩා දැන් මට ශක්තියක් තියෙනවා. දැන් මම දවසට කිලෝමීටර් අටක් දුවනවා. ඊට පස්සේ ව්‍යායාම කරනවා. ඇත්තම කිව්වොත් අසනීප වෙන්න කලින්වත් මම එච්චර දුවලා නැහැ. දවසට ඩිප්ස් 50 ක් ගහනවා

Next Post

හන්තාන කන්ද කපා විපක්ෂයේ ප්‍රබලයා එනසාල් වගාවකට අත තබයි

Mon Aug 31 , 2020
විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති. ඉකුත් බ්‍රහස්පතින්දා (27 වැනිදා) සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, […]