20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත බදාදා සවස 4ට – මෛත්‍රීගේ අග්‍රඵලය නෑ – බැසිල්ට ලකී චාන්ස්

මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම එළඹෙන බදාදා පස්වරු 4.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි. එහිදී අදාල කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් පත් කරනු ලබන කමිටුව පිළිබඳ යෝජනාව ද මෙම සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බව පැවසෙනවා.

ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්විමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරිම පිළිබඳව වන යෝජනාව සලකා බැලෙන බව වාර්තාවනවා

මේ නිසා නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.

සැප්තැම්බර් මාසය තුළ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටී.

ඉදිරිපත් කර ඇති මෙම සංශෝධනය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු නව තනතුරක් ලැබිය හැකි වගන්තියක් ඇතුලත් කර නැති බවද වාර්තා වෙයි.

පෙර වාර්තා වූයේ හිටපු ජනපති වෙනුවෙන් උප අගමැති ධුරයක් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇති කරනු ඇති බවයි.

එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අත්හිටුවමින් 19 සංශෝධනය පනවා තිබූ නීතිය මෙමඟින් ඉවත් කර ඇති බවද දැනගන්නට ඇත.

දහනව වැනි සංශෝධනය ඉවත් කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මිස උප අගමැතිවරයකු පත් කිරීම ගැන අවධානයක් යොමුකර නැතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැති බව ද හෙතෙම කියා සිටී.මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

සියලූ ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පොදු නීති පද්ධතියක් ඇති කරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත.

කෙසේවුවද, හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ලබා දෙන ලෙස එම පක්ෂය විසින් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව මීට පෙර වාර්තා විය.

එම නව ධූරය 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමෙන් අනතුරුව අලුතින් ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් ලෙස ඇතුළු කරන ලෙසට යෝජනා කර තිබූ බවද පැවසේ.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීන් 15 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

එයින් දෙදෙනකුට කැබිනට් අමාත්‍ය පදවි හිමි විය. තවත් හතර දෙනකුට රාජ්‍ය ඇමැති පදවිද නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපති පදවි තවත් දෙදෙනකුට ද හිමිවුණි.

Next Post

ජීවිතේ අමාරුම තැන් අල්ලන් ඉන්න, වැටෙන්න එපා - මරණයෙන් නැඟී සිටි සචිත් පීරිස් මෙතෙක් නොකියූ කතාව

Mon Aug 31 , 2020
ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතයේ විවිධ අවස්ථාවල අපි විවිධ ප‍්‍රශ්නවලට මුහුණදෙනවා. ඒ වගේම විවිධ කඩඉම් පසුකරනවා. හිතන්නකෝ වෙලාවකට මරණය වගේ කඩඉමක් පසු කරන්න වෙනවා කියලා. එහෙමත් නැතිනම් මරණයේ කඩඉමට ඇවිත් ආපහු ගොඩ එන්න ලැබෙනවා කියලා.මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම මරණයේ කඩඉම ළඟට ම ඇවිත් ජීවිතයත් තමන් විසින්ම නැති කරගන්න ගිහින් […]

Breaking News