කොන්ක්‍රීට් ළිං වළල්ලක් සමඟ සෙල්ලම් කිරීමට ගිය වයස අවුරුදු 07ක පාසල් දැරිය

කොන්ක්‍රීට් ළිං වළල්ලක් සමඟ සෙල්ලම් කිරීමට ගිය වයස අවුරුදු 07ක පාසල් දැරියක් මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි. වළල්ල තල්ලු වී මෙසේ මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ මැදගම්පිටිය ප්‍රදේශයේ නිවෙසක පදිංචිව සිටි යටගම කනිෂ්ඨ විද්‍යාලයේ 2 ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි නෙතුමි දෙව්සරණි නමැති වයස අවුරුදු 07ක දැරිවියකි.

පෙරේදා (26දා) පස්වරු 4.00ට පමණ මිය ගිය දැරිය තම වැඩිමහල් සොහොයුරා සහ තවත් අසල්වාසී නිවෙසක දරුවකුත් සමඟ එම ප්‍රදේශයේම ඉදිකරමින් පවතින නව නිවෙසක් අසල තබා තිබූ කොන්ක්‍රීට්වලින් සාදන ලද ළිං වළල්ලක සෙල්ලම් කරමින් සිටියදී එම ළිං වළල්ල ක්ෂණිකව දැරිවියගේ ඇඟට කඩා වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (26දා) රාත්‍රි 11ට පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ ළිං වළලු දෙකක් කෙළින් අතට තබා තිබූ අතර ඉන් එක් වළල්ලක් තුළට දැරිය නැඟීමෙන් පසු සිය සොහොයුරා වූ වයස අවුරුදු 09ක් වූ දරුවා එම ළිං වළල්ල තල්ලු කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.

අනතුර සිදු වූ අයුරු විස්තර කරමින් මියගිය දැරියගේ සොහොයුරා වූ එම පාසලේම (යටගම කනිෂ්ඨ විදුහලේ) 4 වසරේ ඉගෙනුම ලබන නදුන් නිම්සර (09) මෙසේ පැවැසීය.

“නංගියි මමයි තවත් මල්ලි කෙනකුයි එතැන සෙල්ලම් කර කර හිටියා. මායි අනිත් මල්ලියි ළිං කැට උඩ නිදාගත්තා. නංගි ඒ ළඟ තිබුණු ගල් ගොඩක් උඩ ඉඳගෙන අඬ අඬා හිටියා.  ඒ වෙලාවේ මම අර මල්ලිට කිව්වා ඔයා ඔය ළිං කැටේ නංගිට දීලා ඔයා මගේ කැටේට එන්න කියලා.

ඊට පස්සේ නංගි ළිං කැටය ඇතුළට ඇවිල්ලා මට කිව්වා අයියේ මේ කැටේට තල්ලුවක් දාන්න කියලා. මම ඒ කැටයට තියලා තිබුණු ගලක් අයින් කරලා තල්ලුවක් දැම්මා. ඒත් එක්කම ඒ කැටේ කෑල්ලක් කැඩිලා නංගිගේ බඩ උඩට වැටුණා.  මම කොන්ක්‍රීට් කෑල්ල නංගිගේ ඇඟ උඩින් අයින් කළහම නංගි නැඟිට්ටා. ඊට පස්සේ ආයේත් නංගී බඩ අල්ලගෙන හඬන්න පටන් ගත්තා. ඊට පස්සේ මාමා නංගිව ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා.

මිය ගිය දැරියගේ පශ්චාත් පරීක්ෂණය කොළඹදී සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29වැනිදා සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇත. වේයන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි

Next Post

රාජසන්ත කරන්න කියලා දුන්න බඩු ටික පොලීසියෙන් උසාවියට ගේද්දි රාලහාමිලා දුන්න සුපිරි ගේම මාට්ටු

Fri Aug 28 , 2020
කැස්බෑව අධිකරණයෙන්  රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට  පස් ගල්  සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්  සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි. මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ ගුණරත්න […]