සමාජ මාධ්‍ය වල කාගේත් ආදරය – ගෞරවය දිනාගත් හෙදියගේ අමතක නොවන රාජකාරි දිවියේ රසමුසු තැන්

හෙද නිලධාරිනියක ලෙස ජාතික රෝහලේ සේවයට බැඳුණු පුෂ්පා රම්‍යානි ද සොයිසා වසර 25ක් පුරා හෙද සේවාවේ නියැලුණාය. ඒ කාලය තුළදී ඈ ජීවිතයට ලද අත්දැකීම් සේම, ඈ අතින් රෝහල් සේවයට වූ සේවාවද බොහෝය. වත්මනෙහි ජාතික රෝහලේම ජාතික පුහුණු කිරීමේ නිලධාරිනිය ලෙස කටයුතු කරන පුෂ්පා රම්‍යානි ද සොයිසා, යකඩ ගැහැනියක සේ පෙනී හිටියත් ඈ ලේඛනයට බර සංවේදී කාන්තාවක්ද වන්නීය. මේ ඇගේ හෙද ජීවිතය ගැන ලියන ආරාධිත ලිපියයි.

මම කවදාවත් හිතල තිබුණෙ නැහැ හෙද වෘත්තියක නියැළෙන්නට. ඒත් සැමදාම මගේ ජීවිතේ සිදු වූයේ නොසිතන දේවල්මයි. හැබැයි කොහේ, කොතැනක, පැරදුණත්, දිනුවත්, හැම එකකම අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණය විතරමයි, මම ලැබුවේ. මේ හෙද සේවාව තුළ පරාජයට පත් වූ තැන් අපමණයි. නමුත් පරාජිත මොහොතේ සිට අද දක්වා හැරී බැලුවොත් ඒ සෑම පරාජයක්ම ලබා දී තිබුණේ ජයග්‍රහණයේ ඉසව්වකටයි. ඒ ගැන සිතන විට පරාජයේ වැටුණ මානසිකත්වය පිළිබඳ නෙතට ඉනූ කඳුළ පිළිබඳ අද ඇති වන්නේ කනස්සල්ලක්.

හෙදියක් ලෙස රෝහලට ආපු දවසේ මුල්ම රෝගියා බලපු මා කලන්ත වී ඒ රෝගියාගේම ඇඳ පල්ලමට ඇදවැටුණා. සිහිය ඇවිත් බලන විට මාද ඒ වාට්ටුවේ ඇඳක් මත. ලැජ්ජාවෙන් රතු වූ මා කිසිවක් සිදු නොවූ ලෙස ඇඳෙන් බැස වටපිටාව දෙස නොබලාම දුවගොස් නතර වූයේ වාට්ටුවෙන් පිටතයි. ඒ හෙදකම එපා වූ දිනක්. හේතුව රෝගීන්ගේ දුක මට දරා ගැනීමට නොහැකි වීමයි. ඉන්පසු ගෙදර ගොස් නැවතත් මා හඬා වැටුණා. හෙදකම කළ නොහැකි බව කියා. නමුත් දෛවයට පිටුපෑ නොහැකියි.

කෙසේ හෝ හෙද අධ්‍යාපනයට යොමු වන්නට මා හට සිදු විණි. වසර තුනක අධි දුෂ්කර අධ්‍යාපනයක් ලැබූ අප දිනපතා රෝගී සත්කාරයට ද යොමු කර තිබිණි. එකල සිසු හෙදියන් ඇඳෙහි ඔත්පළව සිටින රෝගීන්ව ස්නානය කර පිරිසිදු කළ යුතුය. මා බොහෝ විට තෝරා ගනු ලැබුවේ දුගී දුප්පත් යාචකයන්ය. ඇඳෙහි ඔත්පළව, මූත්‍රා, අසූචි ගාගෙන සිටි ඔවුන් කිසිදා ස්නානය කළ බවක් දක්නට නොමැත. අධික දුර්ගන්දය, වමනය එන සුලුය. හිසකේ උකුණන්ගෙන් ගහනය. ආරම්භයේදී එවන් ප්‍රතිකාර පිළිබඳ විචිකිච්ඡාවක් සිතේ තිබුණද ඔවුන් පිරිස්ුදු කළ පසු සිතට දැනෙන සතුට කියා නිම කළ නොහැකි විය. එයයි හෙදකමේ ආශ්චර්යය. එම ප්‍රතිකාරවලට පසුව මා දෙඅත් අල්ලා මගේ දෙමාපියන්ට ආශිර්වාද කරන ඔවුන්ගේ දෙනෙත් පෙඟී තිබුණේ ආශිර්වාද කඳුළකිනි. මා හෙදකමට ඇලුම් කරන්නට ගත්තේ එලෙසය.

මා හෙද විභාගය ඉතා ඉහළින් සමත් වී තිබිණ. එබැවින් මාගේ පළමු පත්වීමද කොළඹ මහ රෝහලට හෙවත් ජාතික රෝහලට ලැබුණි. මාගේ පළමු පත්වීම ලැබී තිබුණේ පිලිස්සුම් ඒකකයටයි. එය අතිශය භයානක ස්ථානයක් සේ බොහෝ අයට පෙනී යනුයේ මුළු සිරුරම පිලිස්සී විකෘති වී ඇති මිනිසුන් පමණක් එහි සිටීම හේතුවෙනි. දිනක් වයස අවුරුදු 23 ක තරුණියක් පිලිස්සී ඇතුළත් කරන ලදී. මා ඇයගෙන් පිලිස්සීමට හේතුව විමසා සිටියද ඇය පැවසුවේ තමා සියදිවි නසා ගන්නට පුලුස්සා ගත් බවය. නමුත් ඇයට සමීපව ප්‍රතිකාර කළ හෙයින් ඇය මා හට ඉතා ළෙන්ගතු විය. පිලිස්සුම් තුවාලවලින් බරපතළව සිටි ඇය අසාධ්‍ය තත්ත්වයට පත් වද්දී මගෙන් ඉල්ලීමක් ඉල්ලුවාය.

‘‘මිස් කාටවත් කියන්න එපා. මගේ මහත්තයයි මාව පිච්චුවේ. එයා මාව ගෙදර කාමරේ පුටුවක ගැටගහලා මට ලාම්පුතෙල් දාලා ගිනි තිබ්බා… මාව මැරෙයි. ඒත් කාටවත් මේක කියන්න එපා!’’

ඇයගේ අහිංසක ඉල්ලීම වූයේ එයයි. සත්‍ය වසන්වන පවුල් ජීවිතවල හැමදාම බැට කෑවේ කාන්තාවය. බොහෝ විවාහයන් අප දකින සුන්දරත්වයට වඩා සඟවන අසුන්දර දේත් බොහෝය. එහි අසීමිත දරා ගැනීම සිදු කරන්නේ කාන්තාවය.

එනිසා පිලිස්සුම් ඒකකය කෙතරම් ගන්ධයෙන් යුක්ත වුවද, ඕජස් ගලන තුවාලවලින් පිරී තිබුණද එය මට ප්‍රිය තැනක් විය. ඒ එහි පූර්ණ හෙද සත්කාරක සේවාවක් කළ හැකි තැනක් නිසාය. එබැවින් මා මාගේ සේවාවට අත්‍යවශ්‍ය දෑ බොහෝ සිදු කළේ වෙනත් අයගෙන් ගිලිහෙන බොහෝ දෑ මවිසින් සිදු කරමිනි. එහි සියලු රෝගීන් නහවා පිරිසිදු කර බෙහෙත් දැමූවෙමි. සවසට කුඩා දරුවන් සමග සෙල්ලම් කළෙමි. රෝගීන්ගේ සිත සුව පිණිස ගීත ගායනා කළෙමි. එය රෝගීන්ට අතිශය ප්‍රිය වුවද, කාර්ය මණ්ඩලයේ අප්‍රසාදයට ලක් විය. එබැවින් මා වෙනත් ඒකකයක් වෙත යොමු කෙරිණි.

මා ජාතික රෝහලේ බොහෝ ස්ථානවල අමතක නොවන සේවාවක් ඉටු කළ හෙදියකි. එය මට සතුටකි. හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයද මා ප්‍රිය කළ තැනකි. එතැනට පැමිණෙන සෑම රෝගියෙක්ම පැමිණෙනුයේ ජීවිතයයි මරණයයි අතර හිඳය. ඔවුන් මරණයෙන් මිදී ජීවත් වීම නම් ආශ්චර්යයකි.

දිනක් මන්නයකින් ගෙල කපපු රෝගියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී. ඔහුට සියලු ප්‍රතිකාර කර අවසන එළිවෙන තුනට පමණ එකපාරටම ගෙලේ දමා තිබූ බටය ඔහු ගලවා විසි කළේය. ඒ සමග ඔහුගේ හුස්ම ගැනීම අකර්මණ්‍ය වී නැවතුණි. මා ක්ෂණිකව ක්‍රියාත්මක වී සකස් කර තිබූ බටයක් ගෙලට දමා 100% ඔක්සිජන් ලබා දී ප්‍රතිජීවනය ආරම්භ කළෙමි. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ඔහු යථා තත්ත්වයට පත් විණි. අද ඔහු ජීවතුන් අතරය. අප සතු තත්ත්පරයද කොතරම් ජීවිතයකට වටී දැයි එදින වැටහිණි.

හදිසි අනතුරු අංශයේ ආරම්භය මගේ ජීවිතයටද විශාල පරිවර්තනයක් වූ බව නොකිවමනාය. එනම් ලංකා ඉතිහාසයක ටියාජ් හෙදිය ලෙස සේවාව ආරම්භ කිරීමට මට හැකියාවක් ලැබීමය. ඒ සඳහා සිංගප්පූරු මහ රෝහලේ විශේෂිත අධ්‍යාපනයක් ලද මා එම කාර්ය මැනවින් ඉටු කළෙමි. එනම් දිනපතා ආපදාවට ලක්ව පැමිණෙන රෝගීන්, අසාධ්‍ය සහ අසාධ්‍ය නොවන ලෙස බෙදා වෙන්කර වෛද්‍යවරුන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙමගින් සිදු වේ. පැවති යුදමය වාතාවරණයේදී එම ක්‍රියාවලිය බෙහෙවින් උපකාරී විය.

දිනපතා අප මුහුණ දුන් සෑම සිදුවීමක්ම විවිධය. එමෙන්ම හද කම්පා කරවන සුලුය. එක් අතකින් අනතුරුවලට ලක්ව පැමිණෙන අහිංසක රෝගීන්ය. ඒ අතර හදිසි අනතුරු අංශයට දිනපතා රෝගීන් 300 ක් පමණ පැමිණෙති. තවත් පැත්තකින් රණවිරු යුද සෙබළාය. තවත් පැත්තකින් පාතාල රෝගීන්. ඔවුන් සැමගේ ජීවිත අප රැකිය යුතුය. නමුත් මේ සෑම අවස්ථාවම මට සිත දැඩි කර ගැනීමට අවස්ථාවක් සැලසුණි. එම අත්දැකීම්වලින් පරිණත වන විට නොදැනීම යකඩ ගැහැනියක් බවට පරිවර්තනය වූයෙමි. නමුත් මලකඩ නොකන, තෙත් වූ හදවතක් ඇත්තියක් වූයෙමි.

දිනක් පාතාලේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ අයෙක් රෝහල් ගත කර තිබුණි. රෝහලට පැමිණ ඔහුට වෙඩි තැබීමට පිරිසක් එන බවට පණිවුඩ ලැබූයෙන් සියලු දෙනාම සීරුවෙන් සිටියත් වෙඩික්කරු පැමිණ වාට්ටුවේ සිටින ඔහුට වෙඩි තැබීය. ඒ හඬට අප සියලු දෙනාම ඉදිරියට දුව එන විට මා ඉදිරියට මතු වූයේ වෙඩික්කරුය. ඔහු මා ඉදිරිපිට ටී 56 තුවක්කුව මා ළයට එල්ල කර ඇත. මා නිහඬය. ඔහු උකුසු ඇසින් වටපිට බැලූවද සතර අතම පොලිස් නිලධාරින්ය. නමුත් මා හට එල්ල කර ඇති තුවක්කුව ඔවුන්ව පාලනය කර ඇත. ඉන්පසු වෙඩික්කරුට බේරීමට ඇති එකම උපාය ලෙස මා හට තුවක්කුව එල්ල කරමින් පලා ගියද, මගෙන් තුවක්කුව ගිලිහුණ විගස පොලිසිය ඔහුව ලුහුබැඳ වෙඩි තබා අල්ලා නැවත හදිසි අනතුරු අංශයට රෝගියෙක් ලෙස ඇතුළත් කෙරිණි.

එකල දිනපතා පිපිරෙන බෝම්බවලින් බොහෝ අය දුක් වින්දාහ. 1996 ජනවාරි 31 කොළඹ මහ බැංකුවේ බෝම්බ පිපිරීමෙන් අපට පැමිණි රෝගීන් ගණන 1500 කි. මියගිය ගණන 118කි. එදා මට, අද වාගේ මතකය. උදෑසන තිබුණේ අතිශය නිහඬතාවකි. ගෙවුණේ හෝරා කිහිපයකි. අධික වේගයෙන් ඉගිළී ආ වාහනයේ පැමිණි රෝගීන් දෙදෙනක් විලාප තබමින් කිව්වේ ‘‘මහ බැංකුවට බෝම්බ ගැහුවා’’ කියාය. එතැන් සිට අඛණ්ඩව ගැලුවේ මිනිස් ගංගාවක්ය. මා රෝගීන් වර්ගීකරණය කරමින් සිටින අතර මගේ නිල ඇඳුමින් තමන් ළඟට ඇඳලා ගත් තරුණයෙක් ළඟ මගේ දෑස් නැවතිණි. ‘‘මිස් මට වතුර ටිකක් දෙන්න.’’

ඒ බැගෑපත් හඬට වඩා හිත නොසන්සුන් වූයේ ඔහුගේ අනතුරේ ස්වභාවයයි. එක් අතක් හා පාදයක් ගැලවී තිබුණු ඒ සිරුරේ උදරය තැළී අභ්‍යන්තර ඉන්ද්‍රියන් එළියට පැමිණ තිබුණි. ඒ අනතුරේ බරපතළකම දුටු මා හට සිතුණේ මෙය ඔහුගේ අවසන් ඉල්ලීම විය හැකි බවයි. එබැවින් මා රුධිරය පිරිච්ච අත් වැසුම් ඉවත්කර ඔහුට වතුර වීදුරුවක් ගෙන ඒමට දිව ගියෙමි. නමුත් වතුර වීදුරුව රැගෙන මා එන විට ඔහු අප හැරගොස්ය.

හෙදකම සොඳුරුය. එහි අසීමිත ජවයක් ඇත. ඒ ජවය ඇත්තේ රෝගීන් සුවපත් කිරීමටය. රෝගීන් සුව කිරීමේ ජවයක් ඇති වෘත්තියක් කළද මටත් දුක වාවාගත නොහැකි තැන් මේ හෙද ජීවිතයේ ඇත. මගේ පියාගේ මරණය එවන් අත්දැකීමකි.

මාගේ පියා විශිෂ්ට වෙද මහත්මයෙකි. තමන් ළඟට එන රෝගීන්ට මෙන්ම දරුවන්ටත්, පවුලටත් අතිශය ආදරය කළ පියෙකි. මාගේ පියාගේ වැඩිමල් සොයුරා හදිසියේ වැලඳුණ හෘදයාබාධයකින් ක්ෂණිකව මිය ගියේය. එම පණිවිඩය ලැබුණු මගේ පියා ඉතාමත් කනගාටු විය. පියාගේ සහෝදරයන් අතර ඉතා තද බැඳීමක් තිබූ බව මට මතකය. එහි ගිය පියා තම වැඩිමල් සොයුරාගේ දෙන දෙස බලා බොහෝ වේලාවක් සිටියේය.

සවස නිවසට පැමිණි ඔහු එක් වචනයක්වත් කතා කළේ නැත. ඔහුද පපුව අල්ලාගෙන අපහසුතාවයෙන් සිටිනු දුටු මා වහාම පියාව රෝහලට රැගෙන ගියෙමි.පියාට ප්‍රතිකාර ලැබෙන අතරේ අම්මා කතා කළාය.

‘‘පුතේ තාත්තට කොහොමද දැන්? බාප්පටත් පපුව රිදෙනවා කියලා රෝහලට ඇතුළත් කළා. එයාවත් බලලම එන්න.’’ඒ තිව්වේ පියාට බාල අනික් සොයුරා ගැනය.

මා බොහෝ රෑ බෝවී නිවසට පැමිණියෙමි. එදා 1993 මැයි 21 වැනිදා එළිවෙන පාන්දරම 2ට මුරුගසන් වරුසාවක් සමග අහස පොළොව දෙදරා යන සේ වැදුණු අකුණුසරෙන් මමත්, අම්මත් එකවිටම තිගැස්සී ඇහැරිණි. ඒත් සමගම අප දෙදෙනාටම එකවිට මතක් වූයේ පියාය. කෑම සකසාගත් මා, උදේ පාන්දරම රෝහලට පිටත් වීමි. එහෙත් පාර වතුරෙන් යටවී දණක් උඩට වතුරය. ඒවා මායිම් නොකර මා පාරට ගොස් බසයේ නැගී රෝහලට පිවිසුණෙමි. රෝහලේ ගේට්ටුව අසල සිටම කවදාවත් නැතිව මුණගැසෙන සෑම කෙනාම මා දෙස අනුකම්පාවෙන් බලනු පෙනුණි. මා පියා සිටින වාට්ටුවට පිවිසුණෙමි.

මා දුටු සියල්ලෝම ගල් ගැසුණාක් මෙන් නිහඬය. මා, පියා සිටි ඇඳ අසලට යන්නට සැරසෙන විට ඔවුන් මා නවත්වා වාට්ටුවේ පුටුවක් මත වාඩිකරවීය. ඉන්පසු ඔවුන් තටම තටමා කියූ දෙය මා​ කෙසේ විශ්වාස කරන්නද…

‘‘මිස් ඊයේ රෑ 2ට විතර තාත්තට අමාරු වුණා. අපි උත්සාහ කළා ඒත්… බේරගන්න බැරිවුණා.’’මට ඒ වෙලේ ඇතිවුණ වේදනාව කිසිදා විස්තර කළ නොහැකිය. මා එදා හොඳටම හැඬුවෙමි. හිතේ හැටියට හැඬුවෙමි. හිත හදාගන්නා තෙක්ම හැඬුවෙමි.

එයට ටික වෙලාවකට පසු පුංචි අම්මා හඬා වැටෙමින් මම අසලට පැමිණියාය. මම සිතුවේ ඈ හඬන්නේ පියා නිසා කියාය. එහෙත් ඉන්පසුව දැනගත්තේ පෙරදා රෝහලට ඇතුළත් කළ පියාගේ බාල සොයුරාද, (පුංචි අම්මාගේ සැමියා) එළිවෙන 2ට හෘදයාබාධයක් සෑදී රෝහල් සයනය මතම මියගිය පුවතයි.

ජීවිතය ගැන බොහෝ අත්දැකීම් ලැබී ඇතත් මේ සිදුවීම මතක් වෙද්දී අද ද නෙත තෙත් වේ.මේ වන විට මා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, තායිලන්තය, ඉන්දියාව, පින්ලන්තය වැනි රටවල ආපදා කළමනාකරණ, හදිසි අවස්ථා කළමනාකරණය, රෝගීන් වර්ගීකරණය පිළිබඳ නිපුණයෙක් නොහොත් විශේෂිත හෙද නිලධාරිනියක් ලෙස පුහුණුවීම් රාශියක් ලබා තිබිණි. රෝහල් ඉතිහාසයේ පළමු පුහුණු කිරීම් නිලධාරිනිය ලෙසද උසස්වීමක් ලදිමි. එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව ත්‍රිවිධ හමුදා පුහුණුවීම් මෙන්ම ප්‍රජා දැනුවත් කිරීම්, අමාත්‍යාංශ ආරක්ෂිත අංශ, පාසල් සිසුන් සියලු දෙනා සඳහා විවිධ පුහුණු කිරීම් අරඹා දීපව්‍යාප්ත කළෙමි. එය අභියෝගයක් වුවත් මගේ රාජකාරියට අනුව නිසි පරිදි සේවාව දියුණු කළෙමි. එම පුහුණුවීම් පැවතුණු යුද්ධයේදී අතිශය ප්‍රයෝජනවත් වූ බව නොරහසකි. එපමණක් නොව දිනපතා එන රෝගීන්ට අවශ්‍ය කිහිලි උපකරණ, රෝද පුටු වසර 29 ක් පුරාවට ලබා දීමට මා කටයුතු කළේ අතිශය සතුටකිනි. වසර 25 ක් පිරුණු හදිසි අනතුරු අංශය නව්‍යකරණය සඳහා රුපියල් මිලියන 100 ක ආධාර ගෙන හදිසි අනතුරු අංශය නව්‍යකරණය කළේ හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන්ට පරිසර හිතකාමී වීමත්, අවශ්‍යම දෙයක් සේ සලකාය.

මේ වන විට මා අතිශය සතුටින් ජීවිතය ගත කරමි. මිනිසකුට කළ නොහැකි දෙයක් නැත. අවශ්‍ය වන්නේ තමා පිළිබඳ විශ්වාසය පමණි. මා සියල්ල සිදු කළේ විශ්වාසය මත පමණි.

Next Post

අපි කාගේත් සිත්ගත් පුංචි තිරයේ අම්මා - සුසන්තා ගැන දුක්බර ආරංචියක්.....

Thu Aug 27 , 2020
අම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා හා ඇයගේ මව ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි කවුරුත් […]

තවත් මෙවැනිම පුවත්..........