තමන් කැමති පාටක් එදා – ශ්‍රී ලංකාවේ ඡන්ද ලකුණු සුලමුල

1931 පැවැති ඡන්ද විමසීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ට අද මෙන් ඡන්ද ලකුණු භාවිතාවක් නොවීය. නාමයෝජනා ඉදිරිපත් කළ දිනයේම ඔවුන් කැමැති පාටක් තෝරාගැනීමට නියම විය. සීමිත පක්ෂ කීපයක් කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වූ නිසා පාට වර්ණ බෙදා ගැනීම ඉතා පහසු විය.

ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ වර්ණයෙන් යුත් ඡන්ද පෙට්ටියට පත්‍රිකාව දැමීමට ඡන්දදායකයාට නියම විය. එකල රටේ ජනතාවගේ සාක්ෂරතාව පහළ මට්ටමක තිබුණු අතර අපේක්ෂකයින් තමන් තෝරාගත් වර්ණය ප්‍රචාරය කිරීමට විවිධ ක්‍රම උපයෝගි කර ගත්හ. සමහරු කහ පාට තෝරාගෙන තමන් බුද්ධාගමේ පාට තෝරාගත් බව සඳහන් කළහ. නිල්පාට තෝරා ගත් අය අහස් තලය යට ජීවත්වන බව පෙන්වූහ.

අනුරාධපුරයේ දිසාපති ධුරය දැරූ ඉංග්‍රීසි ජාතික එච්.ආර්. ප්‍රීමන් තැන් තැන්වල කුඩා ගොවි ජන හමු පවත්වමින් කොළ අත්තක් පෙන්වමින් මෙසේ පැවැසීය. ‘මේ මම තෝරාගත් පාට. මේ පාටට ඡන්දය දෙනවා නම් මම ලංකාවේ ඉන්නවා. ඡන්දය දුන්නේ නැත්නම් මම යන්නම යනවා.’ප්‍රීමන් මහතා එවර ජයග්‍රහණය කළ අතර 1936 පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයෙන් ද එච්.ආර්. ප්‍රීමන් අනුරාධපුර කොට්ඨාසයට නිතරගයෙන් පත්විය.

සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙද්දී වර්ණ භාවිත කිරීමේ ක්‍රමවේදය වෙනස් විය. නාමයෝජනා භාර ගන්නා දිනයේදී යම් ඡන්ද සලකුණක් තෝරා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ විය. අකුරු නොදන්නා අයෙකුට වුවද තමන් කැමැති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඡන්ද සලකුණක් තිබීම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය අංගයක් බව එවකට විද්වත්හු ජනතාවට පෙන්වා දුන්හ. පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ගැනීමට දින කීපයක් තිබියදී 1947 ජූලි 18 වැනිදා ඡන්ද සලකුණු 24ක් අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

අලියා, අත, බයිසිකලය, ගෙය, සමනලයා, යතුර, ඇස් කණ්ණාඩිය, කුරුල්ලා, කරත්ත රෝදය, තරුව, තරාදිය,කුඩය, බස් රථය, කෝප්පය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගස, අන්නාසි ගෙඩිය, මේසය, මල, ගුවන්යානය, හැන්ද මෙම ලකුණු විය.

1947දී එ.ජා.පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ සංගමය, ලංකා ඉන්දියානු සංගමය මැතිවරණයට තරග කළත් කිසිම දේශපාලන පක්ෂයකට වෙන් වූ ඡන්ද සලකුණු තිබුණේ නැත. මේ නිසා එකම පක්ෂයේ අපේක්ෂකයෝ විවිධ සලකුණුවලින් මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබූහ.

එජාප නායකයන් වූ ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල අලියා ලකුණින් තරග කර ජය ලැබූහ. ඒ අතරම ලංකා සම සමාජ පක්ෂයේ රොබට් ගුණවර්ධන (කෝට්ටේ) ඩී.ඇස්.හෙට්ටිආරච්චි (නිවිතිගල) අලියා ලකුණින් තරග කර ජය ලබාගත්හ. එජාපයේ ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක අත ලකුණින් තරග කළහ. පිලිප් ගුණවර්ධන, සෝමවීර චන්ද්‍රසිරි, ජේ.සී.ටී. කොතලාවල, ප්‍රේමලාල් කුමාරසිරි, අත ලකුණින් තරග කළහ. කොල්වින් ආර්.ද සිල්වා (වැල්ලවත්ත – ගල්කිස්ස) චමිලි ගුණවර්ධන (කළුතර) ද්‍රවිඩ නායකයෙක් වූ චෙල්වනායගම් ‘යතුර’ ලකුණින් තරග කළහ.

එකල ‘කුඩය’ මහා මැතිවරණවලදී ඉතා ජනප්‍රිය ඡන්ද සලකුණක් විය. 1947දී එජාප, සම සමාජය, නිදහස් පක්ෂ අපේක්ෂකයෝ කුඩය ලකුණින් තරග කළහ. කිරිඇල්ල මන්ත්‍රීනි ප්ලෝරන්ස් සේනානායක මහත්මියගේ ඡන්ද සලකුණ වූයේ කුඩයයි. පළමුවන කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මෙන්ම ප්‍රථම විපක්ෂ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ ද ලකුණ වුයේ කුඩයයි.

1956 මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂවලට ඡන්ද සලකුණු වෙන් කරදීමට එවකට මැතිවරණ කොමසාරිස් ධුරය හෙබ වූ පිලික්ස් ඩයස් අබේසිංහ මහතා පියවර ගත්තේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ‘අලියා’ ලකුණ සින්නක්කරයෙන්ම භාර දුන්හ. කොමියුනිස්ට් පක්ෂට සුපුරුදු ‘තරුව’ ලැබුණි. ශ්‍රීලනි පක්ෂයට සුපුරුදු අත ලකුණ ලැබුණි. ලංකා සමසමාජ පක්ෂයට යතුරත් ලැබුණි.

පැවැති දේශපාලන අවුල් වියවුල් මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, හා තවත් යූ.ඇන්.පී. විරෝධී සංවිධාන එක්ව මහජන එක්සත් පෙරමුණ බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ගොඩ නැගූ අතර අත ඡන්ද සලකුණ විය. වමේ ප්‍රගතිශීලී ජනතාව අතට අත දී විජයග්‍රාහී ජනතා අරලගලයකට මාවත සකස් කර ගත්හ.

ඉන්පසු එළැඹුණු මහා මැතිවරණ වලදී පක්ෂ සන්ධානගත වූ අවස්ථාවේ පොදු ලකුණක් තෝරා බේරා ගත්හ. කෙසේ වුවත් ‘අලියා’ 1947 පටන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සලකුණ වූ වග අපි අමතක නොකරමු.

බන්දුල ආර්. ගුලවත්ත – හොරණ

Next Post

සිංහරාජය හරහා ලංකාගමට කපන පාර ගැන ගම්මු කියන කතාව

Wed Aug 26 , 2020
සිංහරාජය රක්ෂිත වනාන්තරය ආසන්නයේ ඇති ජනාවාස පෙදෙසකි. බැලූ බැලූ අත හරිත වර්ණයෙන් දිදුළන අපූරු පරිසරයකි. වාහනවලට යාමට හැකි තරමට සංවර්ධනය නොවූ කොන්ක්‍රීට් මාර්ගයකි. ඒ මාර්ගය ඔස්සේ පාසල් යන දරුවන් ය. තේ දළු නෙළන්නට යන ගැමියන් ය. අප මේ ගමන් කරන්නේ නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ඇති මාර්ගයේය. පසුගිය දිනවල […]

Breaking News