සිංහරාජය හරහා ලංකාගමට කපන පාර ගැන ගම්මු කියන කතාව

සිංහරාජය රක්ෂිත වනාන්තරය ආසන්නයේ ඇති ජනාවාස පෙදෙසකි. බැලූ බැලූ අත හරිත වර්ණයෙන් දිදුළන අපූරු පරිසරයකි. වාහනවලට යාමට හැකි තරමට සංවර්ධනය නොවූ කොන්ක්‍රීට් මාර්ගයකි. ඒ මාර්ගය ඔස්සේ පාසල් යන දරුවන් ය. තේ දළු නෙළන්නට යන ගැමියන් ය. අප මේ ගමන් කරන්නේ නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ඇති මාර්ගයේය. පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ ‘ලංකාගම’ ගම්වාසීන්ගේ කියන කතාව අහන්නට එන්න යැයි ඔවුන් කළ ඉල්ලීමට අපි ඔවුන් සොයා පැමිණියෙමු. මේ සූදානම ඔවුන් නිහඬව හිඳිමින් දරා සිටිනා ඔවුන්ගේ කතාව ඔබට කියන්නට ය.

“මහත්තයෝ මේක අවුරුදු පන්සීයක් හයසීයක් විතර පරණ පාරක්. අපේ පැරැන්නෝ මේ පාරවල් වලින් තමයි කිතුල් මදින්න ගිහින් තියෙන්නේ. හකුරු ටික පැණි ටික අරගෙන කඩපොළට ගිහින් තියෙන්නෙ. රජ කාලේ රජවරු පවා මේ පාරවල් වල ගිහින් තියෙන බව අපේ සීයල අපිට කියලා තියෙනවා.” ලංකාගම පැරණිතම සාමාජිකයෙක් රටම කැලඹූ සිංහරාජයේ පාර කැපීම ගැන කතාවට මුලපිරුවේ එසේය.

ගම්වැසියන් පවසන පරිදි මෙම මාර්ගය සාදාදීමට බොහෝ කලක සිට දේශපාලකයන් පොරොන්දුවී ඇත. නමුත් ඒවා කඩවුනු පොරොන්දු බවට පත්ව ඇත. එදා මෙන් නොව අද වනවිට මේ ගම්වැසියන්ගේද අවශ්‍යතා බොහෝය. නගරය සමග සමීප සබඳතාවක් නොතිබුණොත් ඔවුන් හුදෙකලාවනු ඇත.

‘‘ඉස්සර වගේ අඩි පාරවල් වලින් දැන් ගමන් බිමන් යන්න බැහැනේ. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ගමකට හොඳ පාරක් තියෙන්නම ඕන. ඒක තේරුම් ගත්තු අපේ ප්‍රාදේශීය සභාවේ හිටපු කළු මහත්තයා (නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන එම්. අයි. ජී ඩේවිට්) මේ පාර මේ තරමින් හරි කපලා දුන්නා. පාර හොඳටම හදන්න වුණේ නැහැ. එක එක අය එතුමාට විරුද්ධව කටයුතු කළා. තමන් ගැනවත් හිතන්නේ නැතුව එතුමා පාර මේ තරමින් කපලා දුන්නා. අපේ ඇස් පියවෙන්න කලින් මේ පාර හරිහැටි හදලා දෙනවා දකින්න අපි බොහොම ආසයි මහත්තයෝ.“ ගම්වැසියෙක් එසේ පැවැසුවේ තම පීඩනය පිටකරමිනි.

1999 දි නෙවිල් කන්නන්ගර ආණ්ඩුකාරවරයා ලංකාගම පාසලට පැමිණියේ දැනට පවතින අබලන් මාර්ගයෙනි. එදින ඔවුන් පැමිණි රථවල රෝදවලට ඇණ තියා තිබිණි. එපමණක් නොව එකී මාර්ගයට ගස් කපා දමා තිබිණි.

මෙගම්වැසියන්ට ඇති මූලික ගැටලුවක් වනුයේ ඔවුන්ට ආසන්නතම නගර වන දෙනියාය සහ නෙළුව යෑමට මාර්ගයක් නොමැතිවීයි. තමන්ගේ තේ දළු, කිතුල් පැණි, හකුරු රැගෙන එම නගරවලට යෑමටය ඔවුන් මේ මාර්ගය ඉල්ලා සිටිනුයේ. එපමණක් නොව නගරයේ රෝහලට, බැංකුවට යෑමටද නොහැකිව පීඩා විදිනුයේ මාර්ගයක් නොමැති නිසාය.

” මේ ගමේ මිනිස්සු ගෙවන්නේ ඉතාම දුෂ්කර ජීවිතයක්. අපේ දරුවන් පාසලට යන්නත් කිලෝමීටර ගණන් පයින් යන්න ඕන. වාහන තියෙන ගෙදරක දරුවෙක් වුණත් මේ පාරේ වාහනයකින් යන එක හරිම අවදානම් වැඩක්. සමහර තැන්වලදී වාහනය පොඩ්ඩක් හරි එහෙ මෙහේ වුණොත් මහා කඳු පල්ලම්වලට වාහන පෙරලෙනවා. පාරේ වැඩිපුරම තියෙන්නෙ වලවල්. එහෙම පාරක කොහොමද දරුවො අරගෙන අපි යන්නේ? ලෙඩෙක් අරගෙන ඉස්පිරිතාලෙට යන්නේ? මේ පාරේ ලෙඩෙක් අරන් ගියොත් ලෙඩා අතරමඟ මැරෙනවා පාරේ තියෙන අපහසුතා නිසාම. සංචාරකයන් එනවා සිංහරාජෙ බලන්න යන්න. එහෙම වෙලාවට වාහන දෙකක් පාරේ එකවර මාරු වෙන්නවත් ඉඩක් නෑ. හරිම අවදානම් ගමනක් මේ පාරේ යන මිනිස්සු යන්නේ” ගම්වැසියන් අපට පෙන්වන්නේ මාර්ගයේ ඇතැම් කොටස් ආසන්නයේ ඇති මහා ප්‍රපාතයන් ය. ඒවා දකිද්දී මාර්ගයේ යන්නට තියා සිතන්නටවත් බැරි තරම් බියකරු හැඟීමක් මටත් මගේ සහයකයාටත් දැනුණි.

ගම්වාසීන් පවසන්නේ තමගේ ගම ගැන, මේ ඉදිවන මාර්ගයක පිළිබද කිසිදු දෙයක් නොදැන ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවයි. ලංකාගම නමැති ගම්මානය ලංකා සිතියමෙහි තියෙන්නේ කොහේදැයි නොදන්නා පිරිස් පවා දැන් ලංකාගම ගැන කතාකරන බව ගම්වැසියෝ පවසති.

” ලංකාවේ හතර වටෙන්ම මිනිස්සු මේ ගමේ ලස්සන බලන්න එනවා. සිංහරාජයේ දිය ඇළි බලන්න සංචාරකයන් යන්නේ එන්නේ මේ මාර්ගයෙන්. ඔවුන් පවා කියන්නේ ගමට පාරක් අත්‍යවශ්‍යයි කියලා. පරිසර සංවිධාන කියාගත්තු එන්. ජී .ඕ සංවිධාන කියන විදියේ කිසිම හානියක් මේ පාර හැදුවා කියලා රක්ෂිතයට සිදු වෙන්නෙ නැහැ. මේ හදන්නේ හෝටල්වලට යන්න පාරවල් කියලා ඔවුන් කියනවා. ඒ සියල්ල අසත්‍ය ප්‍රචාරයන්. මේ හදන්නේ මේ ගමේ මිනිස්සුන්ට යන්න එන්න පාරක් විතරයි. සිංහරාජයට කිසිම හානියක් නොවෙන්න මේ මාර්ගය සංවර්ධනය කරන්න පුළුවන්. මේ ගම්වල ඉන්නේ දුප්පත් අහිංසක මිනිස්සු. ඔවුන් වනාන්තරය රැකගන්නවා මිසක් සිංහරාජයේ ලී කෑල්ලකටවත් හානි කරන්නෙ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මාර්ගය ගැන කියන අසත්‍ය ප්‍රචාරවලට රැවටිලා මාර්ගය සංවර්ධනය කිරීම නතර කරකරන්න එපා කියලා “.

එසේ පැවැසුවේ බටුවංගල ධර්මාලෝක පිරිවෙනෙහි පරිවේනාධිපති පූජ්‍ය අලපලාදෙණියේ පඥ්ඥානන්ද හිමියන්ය.

ගම්වාසීන් පවසන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේදී කපා ඉවත් කිරීමට සිදුවන ගස් ප්‍රමාණය පවා සංගණනය කර ඇති බවයි. රක්ෂිතයට අදාළ නොවන ගම්වාසීන්ට අයත් ප්‍රවේණි ඉඩම්වලින්ද මෙම මාර්ගය සඳහා කොටස් කැපීමට සිදුවන අතර එම ඉඩම් හිමියන්ගෙන්ද මෙම කටයුතු සඳහා විරෝධතාවක් නොමැති බව ගම්වාසීහු පවසති.

” පාසල් කාර්යමණ්ඩලය සේවයට එන්නෙ යන්නේ කිලෝමීටර අටක් පමණ දුර ගෙවාගෙන ඉතාමත් දුෂ්කර මාර්ගයකින්. ඒ වගේම ලොකු ජීවිත අවදානමක් සහිත මාර්ගයක් මේක. මම සහ මගෙ පාසලේ ගුරුවරු මේ මාර්ගයේ පටු බව නිසා අවස්ථාවන් ගණනාවකදීම අනතුරුවලට ලක්වෙලා තිබෙනවා. පැයකට වඩා කාලයක් වැයවෙනවා පාසලට එන්න. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මාර්ගය සංවර්ධනය කර දීලා මේ මිනිස්සු විදින පීඩාවන්ට සහනයක් ලබා දෙන්න කියලා’’

එලෙසෙ පැවසුවේ ලංකාගම දරුවන්ගේ නැණ පහන් දැල්වීමට ලංකාගම පාසලේ සේවය කරන ගුරුවරියකි.

“ලංකාගම හැබැහින් දැකලවත් නැති සිංහරාජය රැකගන්න තියා තමන්ගෙ ගෙදර ගහක් කොළක් හිටවන්නේ නැති මිනිස්සු ලංකාගම ගැන සිංහරාජය ගැන නිර්වචන දෙන හැටි අපි දැක්කා. ඔවුන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා එක දවසක් හරි මේ ගමට ඇවිත් බලන්න. එතකොට තේරේවි වෙනත් අයගේ උවමනාවන්ට ප්‍රචාරය කරපු තොරතුරු වල කොයිතරම් අසත්‍යතාවයක් තියෙනවද කියලා.’’

මෙම ගම්වාසීන් පවසන්නේ විවිධ සංවිධාන විසින් පටු අරමුණු උදෙසා ලංකාගම – දෙනියාය මාර්ගය සංවර්ධනය කිරීම නතර කිරීමට ගන්නා උත්සහය පිළිබඳව තමන් ඉතාමත් කනගාටුවට පත්වන බවයි. එමෙන්ම ජනාධිපතිතුමා මෙම ගැටලුවේදී දුශ්කරතාවයට පත්ව සිටින තමන් පිළිබඳව සිතා සධාරණ තීරණයක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද මෙම ගම්වැසියෝ පවසති.

Next Post

විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ලෙන් - රටටම පැය 6 විනාඩි 16 ක් විදුලිය නොමැතිව තිබූ හේතුව මෙන්න

Wed Aug 26 , 2020
දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත. කෙරවලපිටිය උප බලාගාරයේ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වූ බවත් ඒ හේතුවෙන් මුළු රටටම පැය හයකුත් විනාඩි 16 ක් […]

Breaking News