දිය නෑ ජලයෙන් වන්දි ගෙවූ සුරූපි තරුණිය

බොරලැස්ගමුව තල්ගහවත්ත පාර,සිසිල පටුමඟේ නිවෙසක ස්නානය කිරීමේදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අකාලයේ සමුගත් තරුණියගේ දේහය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ අතර එහිදී හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින්, කාන්තාවගේ සිරුරේ කොටස් හා ස්නානයේදී භාවිත කළ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

බොරලැස්ගමුව වේරහැර දාළහේනවත්ත පාරේ අංක 370/1 හි,පදිංචි චමිදුකා වැලිකලගේ කේශරි (20) අවිවාහක තරුණිය මෙසේ අවාසනාවන්ත ඉරණමක් අත්වී තිබිණි.ඇය ඉකුත් 15දා, බොරලැස්ගමුව තල්ගහවත්ත පාර සිසිල පටුමඟ, සිය සහෝදරියගේ නිවෙසේදී ස්නානය කොට තිබූ අතර පසුව ඇතිවූ ශ්වසන ආබාධයක් හා උගුරේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කර තිබිණි.

ඒ සමඟම තරුණිය ස්නානය කිරීමට පෙර ස්නානය කළ එකොළොස් හැවිරිදි පාසල් දරුවකුටද, සමාන අසාත්මිකතා මතුව තිබූ බැවින් දෙදෙනාම රෝහල් ගත කිරීමට ඥාතීන් පියවර ගෙන තිබිණි.එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම තරුණිය 15දා සවස 3ට පමණ අවසන් ගමන් ගොස් තිබූ බව පැවැසේ.පසුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය හදිසි පරීක්ෂිකා සාම විනිසුරු, මල්ලිකා සුගතදාස මහත්මියට දන්වා ඇයගේ උපදෙස් මත තරුණිය ස්නානය කිරීමට භාවිත කළ ජල සාම්පල හා තවත් භාණ්ඩ කිහිපයක් භාරයට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර ගල්කිස්ස ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් අදාළ නිවෙසට පැමිණ පරීක්ෂණයක්ද ආරම්භ කෙරිණි.පසුව නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්තුමිය තරුණියගේ නිවෙසට හා දේහය තැන්පත් කර තිබූ රෝහලට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසත් එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු ලවා පශ්චාත් පරීක්ෂණයක් සිදුකොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය.

ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ධම්මිකා ආරියරත්න මහත්මිය විසින් කළුබෝවිල රෝහලේදී 17දා සිදුකර තිබිණි. එහිදී හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් හා ස්නානය කළ නළ ජලය හා පානය කළ බව පැවැසෙන උණු ජල සාම්පල දෙකක් හිස ගැල්වූ හා සිරුරේ ගැල්වූ ආලේපන කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

තරුණිය ස්නානය කිරීමෙන් පසුව රෝහල් ගත කරන අවස්ථාවේදී කිසියම් කෙමිකල් දුගඳක්ද පසුව නිවෙසේ නාන කාමරය පරීක්ෂා කිරීමේදී ඒ තුළද යම් දුගඳක් වහනය වී ඇති බවටත් වාර්තා වූ බව පොලිසිය කියයි.රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කළ එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති අතර දරුවාගේ තත්ත්වය සාමාන්‍ය බවද පැවැසේ.බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් නීල් (59735) ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.

Next Post

ශ්‍රී ලාංකිකයා පෞද්ගලික ජෙට් යානයකින් ලංකාවට එවූ සෞදි හාම්පුතා - ජායාරූප

Sat Aug 22 , 2020
මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික ජෙට් යානාවක් මගින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබූ පුවතක් පිළිබඳ වාර්තා වේ. කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ […]

Breaking News