දකුණේ ඉදන් කොළඹ ඇවිත් කරන අපූරු රස්සාව – දවසට කොට්ටම්බා ගෝනි දෙකක් තළන විජේපාල

එදා ඉස්කෝලේ ඇරෙන සීනු හඬ ඇසුණ සැණින් අප දිව ගියේ ගඩා ගෙඩි අහුලන්නටය. ඉදුණු වෙරළු, අඹ, සියඹලා අඩුවක් නැති බිම්කඩේ කොට්ටම්බා ගස් තුන හතරක්ම තිබිණි. වෙරළු ගෙඩියක්, සියඹලා ගෙඩියක් කන තරම් පහසුවට කොට්ටම්බා කෑ නොහැකි වුවත්, ඉහත කී මොනවත්ම නැති දවසට අපි පොරකන්නේ කොට්ටම්බා අහුලන්නටය. මෙසේ දිවගිය දවසක කොට්ටම්බා මුලක පැටලී බිම ඇද වැටීමෙන් ඇති වූ තුවාල කැළල අදටත් මාගේ දණහිසේ ඇත.

පාසල් සමයේ මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් එකම ළමයා මා නොවුණත් කොට්ටම්බා හෙවත් කොට්ටන් කෑමේ ප්‍රියකම අපි කාගෙන්වත් දුරස් වූයේ නැත. ගැහැනු ළමුන්ගේ ගවුම් සාක්කුවෙත් පිරිමි ළමුන්ගේ කලිසම් සාක්කුවෙත් කොට්ටම්බා කහට පැල්ලම් අඩු නැතිව තිබිණි. ඒ නිසාම ගෙදරින් බැණුම් අහන්නට සිදු වූ වාර ගණන ද අඩු නැත. ඒ කියන කාලය ගෙවී ගියත් කොට්ටම්බා මදයේ කිරි රසය යළි මතකයට ආවේ ඉකුත් ලොක්ඩවුන් සමයේ නෙත ගැටුණු අපූරු දසුනක් නිසාය. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපසින් වැටී ඇති මාර්ගයේ කොට්ටම්බා ගස් කිහිපයකි. එය යට ‘කාලයක් තිස්සේ කෙරෙන වෙළෙඳාම දැන් ඒ පාරෙන් යන බොහෝ දෙනකුට හුරු පුරුදුය.

කොළ පාට කොට්ටම්බා කොළවලම එතූ කුඩා මුල් දෙක තුන විකුණමින්, ඇරැඹූ වෙළෙඳාම දැන් ඔහුගේ ජීවනෝපාය මාර්ගය වී අවසන්ය. අප එහි යන විටත් ඔහු සිටියේ කොට්ටම්බා ගොඩක් මැදි කරගෙන පේමන්ට් එකේ වාඩි වීගෙනය.

‘‘මම මෙතැන රස්සාව කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දහයක් වෙනවා. කොට්ටම්බා විකුණන්න අරන් නම් අවුරුදු විස්සක්. විකුණන එක කොට්ටම්බා ගොටුවක් රුපියල් පනහයි. මේ වෙළෙඳාමෙන් තමයි අපි ජීවත් වෙන්නේ.’’

ඔහු විජේපාලය. දවස පුරා කොට්ටම්බා තළන බැවින් දෙඅත් දුඹුරු පැහැයෙන් කහට බැඳී ගොසිනි. හැඳ සිටි කොටු වැටුණු කමිසයේ කොටු පුරාද ඇත්තේ කහට පැල්ලම්ය. එහෙත් විජේපාල අපත් සමග හිනැහුණේ බොහෝ අපූරුවටය. කොට්ටම්බා මදයේ ගුණ දන්නා බොහෝ දෙනකු මේ අසලින් යද්දී තම රියේ වේගය බාල කරන්නේ කොට්ටම්බා ගොටුවක් මිලදී ගන්නටය. කොට්ටම්බා මද දහයක් පහළොවක් ඇති ගොටුවක මිල රුපියල් පනහකි. මෙසේ විකුණන්නට කොට්ටම්බා සොයන එක ද විටෙක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ යැයි සිතුණේ විජේපාලගේම වදන් නිසාය.

‘‘මම කොට්ටම්බා ගේන්න රට හතර වටේ යනවා. ඒ අතරේ පාර්ලිමේන්තු පාරටත් යනවා. බත්තරමුල්ලෙ, තලවතුගොඩ, කොට්ටාවේ රාගම ඔය හැම තැනම ඇවිදලා කොට්ටම්බා හොයනවා. ත්‍රීවීල් එකෙන් තමයි ඒ හොයන කොට්ටම්බා අරගෙන එන්නේ. එහෙම ඇවිදින දවසට දවසේ ගාණ හොයා ගන්න කොට්ටම්බා එකතු කරනවා.’’

අපේ කතා බහ අතරේ විජේපාල අසලට ආ ගනුදෙනු කරුවෙකු කොට්ටම්බා ගොටු දෙකක් මිලට ගත්තේය. පුරුදු ගැනුම් කරුවන් මෙන්ම මාර්ගය අසලින් යන එන පාසල් දරුවන්ට ද විජේපාල මාමාගේ දසුන අමුත්තක් නොවේ. එදෙස බලා සිටිය දී මට යළි මතක් වූයේ ඉස්සර ගමේ ගිය දවසට අපේ ආච්චි අම්මා අපට කොට්ටන් අග්ගලා හදා දුන් හැටිය.

ආච්චි අම්මා පහළ ලන්දෙන් අහුලාගෙන එන කොට්ටන් වේළන්නේ මිදුලේ මාගල් පැදුරේ දමායි. ඒවා පදමට වේළෙන විට කොට්ටන් මදය සෙලවේ. අනතුරුව ගිරයෙන් කොට්ටන් ගෙඩි කපා මදය වෙන් කර ගනී.

මදයේ කුරුට්ට යවන්නේ ඒවා කබලේ දමා බැදගෙනය. පසුව කොට්ටන් මදය සමග හකුරු එක්කොට රසවත් අග්ගලා සාදනු ලබයි. කුඩා වියේ ඒවා රසවිඳි අයුරු යළි අලුත් වූයේ​ මේ කොට්ටන් වෙළෙඳාම දැකය.

කොට්ටම්බා ලංකා ආමන්ඩ් ලෙසද හඳුන්වයි. කොට්ටන් බටු කොට්ටන් හා විශාල ඝනකම් පොත්තක් ඇති පෙතන් කොට්ටන් යන දෙවර්ගයකි. ඇතැම් කොට්ටන් ඉදුණු විට රතු-දම් පැහැයක් ගනී. අනෙක් කොට්ටන් කහපාටට හුරු තැඹිළි පාටකින් යුතුය. ලෝකයේ ඇති කොට්ටන් වර්ග ගතහොත් ඒ ප්‍රමාණය අසූවකට වැඩි බව කියති. ඉන් ඇතැම් වර්ග ආහාරයට ගන්නා අතර, ආහාරයට නොගන්නා කොට්ටන් ද තිබේ.

‘‘කොට්ටන් හොඳ බෙහෙතක්. සීනි අමාරුවට, කොලෙස්ට්‍රෝල්වලට මේ කොට්ටන් හරිම ගුණයි.’’විජේපාල කීවාක් මෙන් කොට්ටන් මදය මෙන්ම කොට්ටන් ලෙල්ල පෝෂණ ගුණයෙන් යුතුය. ඇමරිකාවේ හුස්ටන් සරසවිය වසර 20ක් පුරා කළ සමීක්ෂණයකින් හෙළි වූයේ කොට්ටන් ඇතුළු ඇට වර්ග ආහාරයට ගැනීම දීර්ඝ ආයුෂ ලැබීමට හේතුවක් බවය.

කොට්ටම්බා ලෙල්ලේ ප්‍රෝටීන් අඩංගුය. සමත්, ස්නායු පද්ධතියත් නිරෝගීව තබා ගන්නට ඒවා වැදගත්ය. දත්වලට, අස්ථිවලට, ඇසේ පෙනුම යහපත්ව තබා ගන්නට කොට්ටම්බා උපකාරී වන බව බොහෝ දෙනකු දන්නේ නැති තරම්ය.

ගිනිකොන දිග ආසියාවේ උපන් කොට්ටම්බා ඝර්ම කලාපයේ ව්‍යාප්ත වෙද් දී, එය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ මැලේසියාවය. විශාල පත්‍ර ඇති වීමත් සමාන්තර අතු බෙදීමත් නිසා කොට්ටම්බා ශාකය අද භාවිත වෙන්නේ සෙවණ දෙන ගසක් ලෙසය. ලවණ සහිත පසකට වුවද ඔරොත්තු දෙන කොට්ටම්බා ශාකය මුහුදු වෙරළ ආශ්‍රිතවද සිටුවිය හැකිය.

‘‘මගෙන් කොට්ටම්බ ගන්න එක එක ජාතියේ මිනිස්සු එනවා. ලොකු ලොකු කාර්වලින් එනවා. සමහරු රට ඉන්න අයට පාර්සල් කරලා යවනවා. කොරෝනා නිසා මේ දවස්වල ටිකක් බිස්නස් අඩුයි. කොහොම වුණත් මේ ගොටු හතළිහේ මිටියක් දෙදාහක් විතර වෙනවා. කොළඹ කඩවල්වලින් සමහර දවස්වලට කොට්ටම්බා අරගෙන යනවා. ඉස්කෝලෙ ළමයි අතේ වැඩිය සල්ලි නෑනෙ. අනේ මාමේ කොට්ටම්බා දෙන්නකෝ කියලා ඉල්ලුවාම මම නිකන් මද ටිකක් දෙනවා. පුංචි දරුවොනේ.’’

කොට්ටන් කන්නේ මිනිස්සු විතරක් නොවේ. කොට්ටන් වාරෙ කාලෙට වවුලන්ගෙන් කොට්ටන් ගස්වලට නිවනක් නැත. දවල් කාලෙට ඒවායේ අයිතිකාරයෝ වෙන්නේ ලේනුන්ය. විජේපාලගේ ළඟට පැන පැන ආ මයිනෙකුට ඔහු කොට්ටම්බා මදයකින් සංග්‍රහ කළේය.

‘‘මම දවසකට සාමාන්‍යයෙන් කොට්ටන් ගෝනි දෙකක් විතර සුද්ද කරනවා. එහෙම කරලා තමයි දවසකට රුපියල් හාරදාහක් පන්දාහක් හම්බ කරන්නේ.’’

විජේපාල කොලොම්පුරේට පා තබා ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙරය. දකුණින් කොළඹට ආ ඔහුට මේ අපූරු රැකියාව ගැන අදහසක් පහළ වී ඇත්තේ ද එක් සිදුවීමක් නිසාය.

‘‘මගේ ගම බෙන්තර. කොළඹට ඇවිත් ඉන්නකොට මම දවසක් දැක්ක මල් වත්ත පාරේ මාතර බත් කඩේ ළඟ කොට්ටන් ගහ යට කට්ටියක්. කොට්ම්බා තළ තළා කනවා. මට හිතුණා මේක රස්සාවට කළොත් හොඳයි කියලා. කොට්ටම්බා ටිකක් එකතු කරගෙන පාර අයිනේ ගෝනියක් දාලා වාඩි වුණා. කොට්ටන් තැළුවා. තලල කට්ටියට විකුන්නා. ඔහොම විකුණ විකුණා ඉන්නකොට කිව්ව ඕක තහනම් කියලා. ඊට පස්සේ අර කඩ තියන ලෝටස් පාරට ආවා. කොටුව ස්ටේෂමේ රේල් පාර ළඟත්. කොට්ටම්බා විකුණන්න පටන් ගත්තා. එතැන හොඳට බිස්නස් තිබුණා. ගෝල්ෆේස් යන එන ජෝඩු කොට්ටම්බ ගොටුවක් දෙකක් අරගෙන යනවා. අන්තිමට තමයි මම මෙතනට ආවේ. කොහේ ගියත් හොඳට බිස්නස් තියෙනවා. මොකද මිනිස්සු මේව කන්න කැමැතියි.

හිත ඇත්නම් කළ නොහැකි දෙයක් නැති බව විජේපාලගේ කතාවෙන් පැහැදිලිය. වවුලන් කා ගස්යට වැටී යන කොට්ටම්බා ගෙඩි අහුළාගෙන ඒවා මුදල් කරන්නට තමා ගිය පාරේම යන තවත් කිහිප දෙනෙකු ඇතැයි ද ඔහු කීවේය. කොළඹට බෝම්බ බිය දැනුණ කාලේත්, කොරෝනා කාලෙත් විජේපාල කරන්නේ මේ රස්සාවය.

ඔහු කොට්ටන් විකුණන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටය. ඒ නිසා බන්ධනාගාරයේ කලබලකාරී සිදුවීම් ගැන මතකයද ඔහුට තිබේ.

‘‘දවසක් මම දැක්කා හිරගෙදර ලොකු කලබලයක් වෙනවා. මිනිස්සු හිරගෙදර වහල උඩත් නැගලා උලු ගලවලා විසි කරනවා. එකම කලබලයයි. මෙතන ඉස්සර ත්‍රීවීල් පාර්ක් එකක් තිබුණා. අපි හැමෝම මේ දිහා බයෙන් බලා හිටියා. වෙඩි සද්දත් ඇහුණා. පස්සේ දැනගත්තා හිරකාරයෝ විසිහත් දෙනෙක් ඒ සිද්ධියෙන් මිය ගිහින් කියලා.

පාරේ කරන මේ රස්සාව නිසා ඒ වගේ අත්දැකීමුත් එනවා.

විජේපාල කියයි. පුතුත්, බිරියත් සමගින් සතුටින් කා බී ජීවත් වන්නට ඔහු තෝරා ගත් වෙළෙඳාම නරක නැත. කාලය කොතරම් නපුරු වුවත් ඔහු වෙනුවෙන් කොට්ටම්බා ගෙඩි හෙටත් බලා සිටිනු ඇතැයි ඔහුගේ හැඟීමය. එහි රස ගුණ ඔබට බෙදා දී ජීවිතය නමින් බලාපොරොත්තු එක්තැන් කරන්නට ඔහු හෙටත් සූදානම්ය.

මධුෂානි කොඩිතුවක්කු

Next Post

ගඟේ ගංවතුර දැවැන්ත බුදුරුවේ සිරිපතුල් ළඟ නවතී - අනන්ත වූ බුදු ගුණ බල මහිමයට තව මොන සාක්ෂිද ? ජායාරූප

Thu Aug 20 , 2020
දකුණු චීනයේ යැංසි ගංගාව ආශ්‍රිතව ඇති වී තිබෙන විශාල ගංවතුර තත්ත්වය ලෙෂාන් හි දැවැන්ත බුද්ධ ප්‍රතිමාවේ සිරිපතුල් ආසන්නයට පැමිණ නතර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැක්වෙයි. ආසන්න කාල සීමාවේදී මෙවැනි විශාල ජලගැලීමක් වාර්තා වී නොමැති අතර, චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට අවම වශයෙන් එය දශක හතකින් පමණ පසු වාර්තා වන තත්ත්වයකි. […]

Breaking News