කහ හිඟය අවසන් – වසර 1 1/2 ක් යනතුරු පිටරටින් ආනයනයට අවසර

ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා  වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
 
කහ කිලෝවක් රුපියල් 700ට වැඩියෙන් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා මෙසේද පැවසීය.“මේ රටේ කහ හිඟයක් තියනවා. ඒ හිඟය නැති කිරීමට අපි අවුරුදු එකහමාරක් තුළ රටේ කහ වගා කරනවා.

එතකන් රටට අවශ්‍ය ප්‍රමාණයට වුවමනා කහ රටින් ගේන්න ඉඩ දෙනවා. මොනම හේතුවක් මතවත් ඉස්සර වගේ ඕනෑතරම් කහ පිටරටින් ගේන්න ඉඩ දෙන්නේ නෑ.

ඕනෑ තරම් ගේන්න ඉඩ දීලා තමයි මේ රටේ සුලු අපනයන බෝග ගොවියා නැත්තටම නැති වුණේ. අපේ රටට අවශ්‍ය ප්‍රමාණය නැතිනම් අඩුව ගේන්න ඉඩ දෙනවා.
 
ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා එතුමාගේ අවසරය ඇතිවයි ඊට ඉඩදෙන්නේ. කොහොම නමුත් රටට අවශ්‍ය කහ ඇතුලු සුලු අපනයන බෝග රට තුළම වගා කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරනවා.

අවුරුදු එක හමාරක් ඇතුළත රටට අවශ්‍ය කහවලින් රට ස්වයං පෝෂිත කරනවා.කහ තියනවා. කහ හංගාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න. පාරිභෝගික අධිකාරියට කියලා තියනවා මේ හංගලා තිය කහ තොග ගැන සොයා බලන්න කියලා.

පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. කහ විකිණිය යුත්තේ රුපියල් 700ටයි. ඊට  වැඩියෙන් කහ විකුණුවොත් පාරිභෝගික අධිකාරි පනත යටතේ කටයුතු කරනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Next Post

බදියුදීන්ගේ සැප කාමරය වහාම ඉවත්කරයි - සතොසේ සතොසින් විවෙක ගත්ත හැටි මෙන්න

Mon Aug 17 , 2020
හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ වෝක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ පිහිටි සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරය වහාම ඉවත්කරන ලෙස නව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා එහි නිලධාරීන්ට අද(17) උපදෙස් දුන්නේය.මෙහි පවත්වාගෙන ගොස් තිබූ නිදන කාමරය ඉවත් කර එහි තිබූ ඇඳක් ඇතුළු භාණ්ඩ සතොස ප්‍රවාහන […]

Breaking News