වියත් මගෙන් අලෝකමත් වෙන නව රජයේ කැබිනෙට්ටුව මෙන්න – ඔක්කොම 66යි නාමල්ටත් ඇමතිමකමක් – කතානායක දකුණට

ලබන සතියේ ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 26 දෙනකුට සීමා කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයන් 30 දෙනකු පත්කළ හැකි වෙතත් ජාතික අවශ්‍යතා සලකා අමාත්‍ය මණ්ඩලය මෙලෙස සීමා කෙරේ.

කැබිනට්ටුවේ 26 දෙනාට අමතරව කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරැන් 40 දෙනකු පත් කිරීමට ව්‍යවස්ථාවෙන් අවසරය හිමිව ඇත. ඒ අනුව කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය පදවි 40ම ස්ථාපිත කෙරේ. කැබිනට් මණ්ඩලය, කැබිනට් නොවන අමාත්‍ය මණ්ඩලය හා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය එක්වූ විට සියලුම තනතුරු ගණන 66කි.

මෙකී අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයේදී තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීන්ගේ නාමලේඛනය ගැසට් කළ වහාම පත් කෙරෙති. ඊට පෙර අග්‍රාමාත්‍ය පදවියට මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරේ. ඒ සමඟ දෙවසරක කාලයක් තුළ තුන්වරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් ඔහු වාර්තාවක් තබනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය ලබන 14දා සිකුරාදාට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී කලින් අමාත්‍යවරුන් විෂයන් ගණනාවක් වෙනස්කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අභිනව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට වාරිමාර්ග අමාත්‍යංශය හිමිවීමට නියමිත බව කියැවේ.

නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හෝ වෘත්තීය පුහුණු අමාත්‍යංශ දෙකෙන් එකක් හිමිවනු ඇත. උදය ගම්මන්පිල මහතාට පරිසර හා වනජීවී අමාත්‍යංශය හිමිවනු ඇතැයි වාර්තා වෙයි. ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත්කෙරෙයි.

මේ හැර අලුතින් අමාත්‍ය මණ්ඩලයට එක්වීමට නියමිත මන්ත්‍රීන් අතර මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ආදීන්ද වන බව වාර්තා වෙයි. ආර්ථික කටයුතු සම්බන්ධ නව විෂයක් සහිත රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කෙරේ. එම අමාත්‍යංශය වන්නේ සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධනය විෂයයි. එහි රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා බවද සඳහන්ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය පදවිය යෝජනා කර තිබිණි. එහෙත් එම විෂය අවසන් මොහොතේ වෙනස්වීමට ඉඩ ඇතැයි සඳහන් විය. ඒ හැර ශ්‍රීලනිපයට තවත් එක් අමාත්‍ය පදවියක් හිමිවෙයි.

මේ අයට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් සහ ශෙහාන් සේමසිංහ මහත්වරු මුදල් රාජ්‍ය ඇමැතිවරැන් ලෙස පත් කෙරෙති.

අභිනව පාර්ලිමේන්තුවේ කතානායක පදවියට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කෙරෙනු ඇත.

Next Post

ශ්‍රී ලංකාවේ ගූගල් සිතියමේ “චීනය” ලෙස ලියා ඇති අහසට පෙනෙන ප්‍රදේශය

Mon Aug 10 , 2020
ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ භූමිය මත “CHINA” (චීනය) යනුවෙන් ලියා ඇති ප්‍රදේශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා. මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන එස්එල්කේ වරාය සේවයට අයත් ගොඩනැගිලි බව අනාවරණය වී තිබෙනවා. ඔබටත් පහත ලින්ක් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News