මහේලට සිංහලයන් සලකයි – ලැබුනු නව තනතුර මෙන්න

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය දා පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මහේල ජයවර්ධන එහි ක්‍රිකට් කමිටු සභාපතිත්වයට පත් කර ඇති බව දැනගන්නට ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙවැන්නකි. “ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා සමාජවල මෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා පත්කර ගැනීම වෙනුවෙන් විශේෂ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නැහැ. ඒ අනුව, සම්ප්‍රදායක් ලෙස එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා පත්කරගැනීම සිදුකරනු ලබන්නේ සාමාජික යෝජනාවකිනුයි.” යනුවෙනි.

ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම පිතිකරුවකු සහ දක්ෂ නායකයකු ලෙසින් සැලකෙන මහේල මෙයට පෙර එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය. ඒ අනුව, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් මෙයට පෙර කටයුතු කළ සමන්ත දාඩන්වල මහතා එම තනතුරින් ඉවත්වීමත් සමඟින් මහේල ජයවර්ධන ඉහත තනතුර සඳහා පත්වීම ලැබ තිබිණි. එමෙන්ම ‍දාඩන්වල මහතා එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස වසර 10කට අධික කාලයක් කටයුතු කර ඇති බවද සඳහන්ය.

මේ අතර, මේ පිළිබඳව අදහස් දක්වන එස්.එස්.සී. හිටපු ක්‍රිකට් කමිටු සභාපති සමන්ත ‍දාඩන්වල මහතා “එස්.එස්.සී. විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් මහේලගේ නම යෝජනා වූ විට අපි ඒ සම්බන්ධයෙන් මහේලගේ මතය විමසා සිටියා. ඒ අනුව, අපගේ විමසීමට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහේල අදාළ තනතුර සඳහා එකඟත්වය පළකර සිටියා. මහේල වැනි අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු හා පුහුණුකරුවකු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කිරීම එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ භාග්‍යයක් ලෙසින් අප සලකනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

මේ අතර, එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘The Hundred’ පන්දු වාර 10 ක්‍රිකට් තරගාවලියේ සවුතැම්ටන් පළාත පදනම් කර ගත් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

42 හැවිරිදි මහේල ජයවර්ධන, පුහුණුකරු වෘත්තියට පා තැබීමට පෙර ටෙස්ට් තරග 149 සහභාගි වී ලකුණු 11,814ක් රැස් කර ඇත.

එක්දින තරග 448 සහභාගී වී ඇති ඔහු එමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 12,650ක් කි.

ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් ශතක 34 ක් වාර්තා කර තිබේ.

Next Post

STF එයි - අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්ත්වයක්

Thu Jul 16 , 2020
අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධ බව කියන තිදෙනකු පොලීසියට බාර වී තිබේ.කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පොලීසියට බාර වී ඇති අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔවුන් ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ. සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ,මෙසේ අගතියට […]