ජනපති සහ හමුදාපති වර්තමාන රට ගැන විස්තර කරයි

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතී. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනකි. එබැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළයුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.

රට සාමාන්‍ය තත්ත්වයට පැමිණියද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතුය. පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතන උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, අත්සේදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම හැම විටම කළ යුතුය. උණ, උගුර ආශ්‍රීත ආසාදන ඇතුළු රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට නොයාමෙන්ද වසංගත මර්දනයට දායක විය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදු කළ පී සී ආර් පරීක්ෂ්ණ වාර්තා අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 492ක් වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද (13) සවස මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

මෙම 492 ගෙන් 429 ක් පුනරුත්ථාපනය වන අය බවත් 47ක් කාර්ය මණ්ඩලයේ අය බවත් තවත් 16ක් ඔවුන් හා සම්බන්ධ වූ අය බවත් හමුදාපතිවරයා පැවසීය. මෙයට රාජංගනයේ අය ද ඇතුළත් බව හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සියලු විස්තර එදිනම පසුගිය මාස තුන හතර තුළ කටයුතු කළ බවත් ඒ ආකාරයෙන් ම ඉදිරියේ දීත් විස්තර ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයන්ට දැන්වීමට අනිවාර්යෙන් ම කටයුතු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

Next Post

රියදුරු බලපත්‍ර සකස් කිරීම ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවරේ

Tue Jul 14 , 2020
මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබීය.සාමාන්‍යයෙන් රියැදුරු බලපත්‍රයක් මහජනතාව විසින් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1340ක් වැනි මුදලක් ගෙවීමට සිදු විය. එමෙන්ම 2009 දී පුද්ගලික සමාගමක් වෙත පවරා දී තිබු රියැදුරු බලපත් නිකුත් කිරීමේ […]