හැම පෝයටම මගීන්ට කෑම බීම දීලානොමිලේ කළුතර බෝධිය වන්දන්න ගෙනියන බස් රථය

නුගේගොඩ මං සන්දියේ ගිනි කාෂ්ටක අව්වේ දස අතේ දිව යන වාහන රොත්ත මැද, දාඩිය මුගුරු පෙරාගත් ගැහැනුන් මිනිසුන් පාසල් දරුවන් පාරේ ඇවිද යන්නේ කොයි මොහොතේ වාහනයක් තමන් චප්ප කරගෙන යාවි දැයි බියෙන් මෙනි. අතු පතර විහිදුණු ගස් හෙවණක නවතා තිබූ කොට්ටාව පිටකොටුව ප්‍රයිවෙට් බස් රථයට මා ගොඩ වුණේ පිටකොටුවට යාම සඳහා ය. බස් රථය පිටත් ​වෙන්නට තවත් හෝරා කිහිපයක් ඇත. මගීන් දහයක් දොළහක් බස් රථයේ අසුන් මත නිවි සැනසිල්ලේ හිඳ සිටිනු පෙනේ.

පිටත පරිසරය ගිනි වැදී තිබුණද බස් රථය ඇතුළත සිසිල් ය. ඒ ගස් සෙවණක් යට නවතා ඇති නිසාම යැයි ද කිව නොහැක. බස් රථය තුළ කණ පැළෙන්නට දැමූ ප්‍රේම යාදිනි සිංදු නැත. ඉහින් කනින් දාඩිය මුගුරු පෙරා ගත් මගීන් හෝ බස් රථයේ පිරී ඉතිරී පා පුවරුවේ ද එල්ලී සිටින කිසිවෙකු නැත. ගිරිය පලාගෙන කෑ ගසන, මගීන්ට බැණ වදින, දෙස් දෙවොල් තබන කොන්දොස්තර හෝ රියැදුරු අසුනේ සිටම මිනිසුන්ට බැණ වදින, අණ දෙන, නියෝග නිකුත් කරන රියැදුරෙක් ද නැත.

සීරුමාරුවට මිනිසුන්ට බස් ටිකට් එක කඩන කොන්දොස්තර තරුණයා, විනීතව රියදුරු අසුනේ සිටින රියැදුරු මහතාගෙන් විමසා සිටියේ දැන් යමු නේද කියා ය. බසය ඉදිරියට ඇදී යන්නට වූයේ මගීන්ගේ හිතට සහනයක් දෙන්නාක් මෙනි.

බස් රථය තුළ රියැදුරු අසුන පිටුපස අලවා ඇති පෝස්ටරය තුළ සිනහවක් පුරවා ගෙන සිටින්නී… ප්‍රියංගනී ය. සෑම පොහෝ දිනකටම කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට බස් රථය පිරෙන්නට මගීන් රැගෙන, ඔවුන්ගෙන් එක සත පහක් අය නොකර යාමටත් ඒමටත් පහසුකම් සලසන බව පෝස්ටරයේ අග සඳහන් කර තිබුණේ ඒ පිළිබඳව විමසීමක් කරන්නට දුරකථන අංක අමතන ලෙසට කරනු ලැබූ ඉල්ලීමක් ය.

එහි දුරකථන අංකද සටහන්ව තිබිණි.රුපියල් සත වෙනුවෙන් ජීවිත උදුරා ගෙන යන බොහෝ ප්‍රයිවෙට් බස් රථ රියැදුරන්, හිමිකරුවන් අතර මෙවන් සද් කාර්යයක් කරන්නට හේතුවක්, අරමුණක් වූ ප්‍රියංගනී නම් වු ඇය කවුද… ඇය මෙම බස් රථයේ හිමිකරුවන ඉසුරු දර්ශනගේත්, අසංක, කවිඳු සහ සමාධි ගේත් දයාබර අම්මා ය. මෙයට වසර දෙකකට පමණ පෙර ඔවුන් සියලු‍ දෙනාගේ දෑස් තුළ සදාකාලික කඳුළක් ඉතිරිකර ජීවිතයෙන් සමුගත් අම්මා ය.

එකම එක ත්‍රීවීලරයක් පමණක් තිබූ, ඉඳිආප්ප කඩයප්පන් තම්බා ජීවිතයට මහත් ශක්තියකින් මුහුණ දෙමින් දරුවන්ගේ නැණ නුවණ පැහැදූ අම්මා ය. දරුවන්ට මෙන්ම අසල්වැසියන්ට ද පසුකාලීනව තමන්ගේ බස් වලින් ප්‍රවාහන කටයුතු කරන මගීන්ට ද සෙනෙහස දැක්වූ අම්මා ය. අවසානයේ පිළිකා රෝගයට ගොදුරු වී, තමන් පණ මෙන් රැකි දරුවන් තනිකර යන්නට වූ අම්මා ය. ඒ අම්මා ගැන තොරතුරු කිව්වේ, ඉසුරු දර්ශන ය.

“මම දර්ශන ඉසුරු. මේ බස් එක අපේ. තවත් බස් එකක් තියෙනවා. අපි පොඩි කාලේ ඉතාම දුක්බර විදියට තිබුණේ. එක කාමරයයි තිබුණේ. කොට්ටාවේ. මට දැන් අවුරුදු 29 යි. අපි පොඩිකාලේ අපේ අම්මා සෑහෙන්න දුක් වින්දා. එහෙම දුක් විඳලා අපිව ඉස්කෝලේ යැව්වා. පවුලේ මල්ලිලා දෙන්නයි නංගියි මමයි අපි හැමෝම ඉගෙන ගත්තේ කොට්ටාවේ ධර්මපාලේ. නංගියි මල්ලියි තාම ඉගෙන ගන්නවා.

අපිට ඒ කාලේ නැතිබැරිකම් ගොඩක් තිබුණා. අම්මා ඉඳිආප්ප හැදුවා. අපිට තිබුණේ ත්‍රීවීල් එකක් විතරයි. අම්මාගේ ධෛර්ය නිසාම අපිට ත්‍රීවීල් 5 ක් විතර ගන්න පුළුවන් වුණා. බස් එකක් ගන්න ලොකු ආසාවක් තිබුණා. ලෝන් දැම්මා. අම්මාගේ ධෛර්ය නිසාම පසුව බස් දෙකක් ගන්න පුළුවන් වුණා.

ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ හරියට පෝය දවසකට කලින් දවසේ අම්මා අසනීප වුණා. අම්මට තිබුණේ කොන්දේ අමාරුවක් විතරයි. වෙන කිසිම ලෙඩක් තිබුණේ නැහැ. කොන්දේ අමාරුවට අපි බෙහෙත් ගන්න ගියා. ජයවර්ධන පුර ගිහින් සීටී ස්කෑන් එකක් කළා. රිපෝට් එකෙන් කිව්වේ කැන්සර් එකක් කියලා. අපි ලංකාවේ අම්මව අරන් ගියෙ නැති තැනක් නැහැ අම්මට බෙහෙත් කරන්න. අපිට කිසිම වෛද්‍යවරයෙක් කිව්වේ නැහැ මේක ගොඩ දාන්න බැහැ කියලා. අම්මාට නොකියම සමහර තැන්වල බෙහෙත් ගන්න ගියා. අනුරාධපුරයේ මාසයක් එකදිගටම නැවතිලා වෙද හාමුදුරුවෝ කෙනෙකුගෙන් සිංහල බෙහෙත් කළා. උන්වහන්සේ වැඩ සිටියේ කැලේ. බොහොම දුෂ්කරව අපි ඒ කාලේ ගත කළා. අපි අම්මව ගොඩ දාගන්න ගොඩක් උත්සාහ කළත් අපිට බැරිවුණා. අක්මාවේ බඩවැල් හැම තැනටම පිළිකාව පැතිර ගිහින් තිබුණා. අම්මා හින්දා අපි මෙතැන ඉන්නේ. අපි කරන හැම දේම අපි කරන්නේ අම්මා වෙනුවෙන්. සංසාරේ කවදාවත් මේ වගේ දුකක් කරදරයක් අම්මාට වෙන්න එපා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඉසුරු දර්ශන පවසයි.

වයස අවුරුදු 48 ක් වන විට ප්‍රියංගනී මෙලොවින් සමුගත්ත ද ඇයගේ සෙනෙහස ආදරය ධෛර්ය ශක්තිය නිරන්තරව තමන් වටා රැඳී තිබෙන බව ඉසුරු පවසන්නේ මහත් වූ මව් සෙනෙහසකිනි. මගේ තාත්තා රෝහණ. අම්මයි තාත්තයි නංගියි මල්ලිලා දෙන්නයි එක්ක අපි ගත කරපු ජිවිතේ තුළ ආදරය පිරිලා ඉතිරිලා තිබුණා.

අම්මා හරි කැමැතියි දාන දෙන්න. අපිට මොන ප්‍රශ්න තිබුණත් අම්මා දාන මාන දේන්න හරි කැමැතියි. අපේ බස්වල කවුරු දුර ගමනක් ගෙනිච්චත් කෑමබීම සියල්ල දුන්නේ අම්මා. අපේ අම්මා ඉතාම පිරිසිදුයි. වැලි ඇටයක්වත් ගෙයි නැහැ. බස් එකත් ඒ වගේම පිරිසිදුවට තියා ගත්තා. අම්මා හැම වෙලේම කිව්වේ මේ බස්වල මිනිස්සු යන්නෙ නිකම් නෙමෙයි. සල්ලි දීලා. කිසිම කෙනෙකුගේ ඇඟක දුහුවිල්ලක්වත් වදිනවට කැමැති නැහැ. අම්මා ඉතාම නිදහසේ අපිට ජීවත් වෙන්න පරිසරිය හදා දුන්නා.

අපිට අද කොච්චර සල්ලි තිබුණත්, අම්මා කවදාවත් සැපක් වින්දේ නැහැ කියලා හිතද්දි පපුව පිච්චිලා යනවා. අම්මාගේ අත් දෙකෙන් තමයි ගෙදර සියලු‍ම වැඩ කළේ. අපේ අම්මා හවසට මල් කඩන්න ගියත් එයාට විතරක් මල් කඩන් එන පුරුද්දක් තිබ්බේ නැහැ. අහල පහළ ගෙවල්වලටත් එක්කමයි මල් කඩන් ආවේ.

අපේ ගෙදරට මුලින්ම බස් එක ගෙනාපු දවසේ අම්මට දැනුනේ පුතෙක් ගෙදරට ආවා වගේ. දරුවෙකුට වගේ වාහනයට සැලකුවේ. හැමදාම බස් එක දුවන්න කලින් අම්මා නැගිටලා පහන තියලා දුම් අල්ලලා රේඩියේටර් එකේ වතුරත් බලන එක වෙනකම්ම අම්මා කළා. අම්මට බලන්න බැරි බස් එකේ තෙල් විතරයි. අම්මා බස් එකේ වැඩ කරන අයටත් දරුවන්ට වගේ සැලකුවා. එයාගේ අතින්මයි පාන්දර තේ එක ඒ අයටත් එක්කම හදලා දුන්නේ. ගෝලයොත් අම්මට ආදරෙයි. සමහර වෙලාවට ගෝලයෝ බස් එක අස් කරලා නැති වුණාම අම්මා ඒ අයට බැන්නේ නැහැ. අම්මම ගෝලයෝ කරන්න ඕනෑ වැඩ ටික කරනවා. මම කෑ ගැහුවත් මට කියනවා පුතා කෑ ගහන්න එපා. ඒ ළමයින්ටත් මහන්සි ඇති මම මේක කරලා දාන්නම් අමාරුවක් නැහැ කියලා.

ප්‍රියංගනීගේ අසනීප තත්ත්වයත් සමග පවුලේ සියලු‍ දෙනාම විශාල මානසික කඩා වැටීමකට ලක් වූ බවත් අවසානයේ සිය මව රැගෙන රට පුරා විවිධ රෝහල්, වෛද්‍යවරුන්, වෙද මහත්වරුන් පසුපස පමණක් නොව පූජනීය ස්ථාන සෑම තැනකටම පවා ගෙන ගිය ද ඉන් පලක් නොවූ බව ද ඔහු පවසා සිටියේ බිඳුණු හඩිනි.

“ඇත්තටම අම්මාගේ අසනීපය නිසා මම පිස්සෙක් වුණා. මගේ හිතේ තිබුණු හැම දෙයක්ම කියපු අම්මාට මම එක දෙයක් හැංගුවා. ඒ අම්මගේ ලෙඩේ. අම්මට හොරෙන් අම්මාගේ රිපෝට්ස් හැම වෛද්‍යවරයෙක් ළඟටම අරන් ගියා. ඒත් අම්මාගේ අවාසනාවට වඩා අපේ අවාසනාව නිසා අම්මට පිළිකාවක් කියලා තහවුරු වුණා. ඒත් ඒ දේ කියා ගන්න අපේ ගෙදර කාටවත්ම හයියක් තිබුණේ නැහැ. අපේ ගෙදර එකම හයිය, අපි හැමෝවම දරාගෙන හිටපු අම්මා දවසින් දවස දුර්වල වෙලා අම්මා අවසානයේ නැති වුණා.”‍

තමන් සියලු‍ දෙනාට අත්වැලක් වූ, සරා සඳ මඩලක් වූ, අම්මා වෙනුවෙන් තමන් ඇතුළු පවුලේ සෙසු සියලු‍ දෙනා එක්ව බොහෝ පින්කම් කරන බවත්, මෙසේ පොහෝ දිනවලට නොමිලේ බස් රථ දෙක යොදවා, බස් රියෙන් යන එන අයට හැකි පමණින් කෑම බීම ද දී කළුතර බෝ සමිඳුන් වන්දවන්නට මෙසේ මගීන් ගෙන යාම එම පින්කම් අතර වන බව ද ඔහු පවසයි.

“මේ වැඩේට මගේ යාළු‍වෝ හැමෝම වගේ උදව් කරනවා. තව මේ බස් කර්මාන්තයේම ඉන්න තවත් අයත් සහයෝගය දෙනවා. අපේ අම්මා කොහේ හෝ ඉඳන් අපි කරන මේ පින්කම් දිහා බලලා සතුටු වෙනවා ඇති. අපිට ආශිර්වාද කරනවා ඇති.”‍

Next Post

මහානාම එදා ක්‍රිකට් නවත්වන තරමට දුක් වුණා

Mon Jul 13 , 2020
එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි මහා තාප්පය ලෙස හැඳින්වුයේ ඔහුය. ඒ වෙනින් කවරකුවත් නොවේ, අසංක ගුරුසිංහ හෙවත් ආදරණීයි‘ගුරා’’ ය. එදා 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සනත් – කළු වේලාසනින්ම දැවී ගිය පසු, ගුරා මහා පවුරක් වී අරවින්ද සමග ශක්තිමත් සබඳතාවකට දායක විය. ඒ ආදරණීය ගුරාගේ අද දවසේ ජිවිතය […]