කන්දකාඩු හි පිහිටි පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇත්නම් ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රාජාංගනය, වැලිකන්ද සහ හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරුන්ගේ සංචරණ සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඇසුරු කළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ විසින් සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයාගේ පුත්‍රයා පාසැල් ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට ඇති බව ඔහු සඳහන් කළේය.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන දෙක ආශ්‍රිතව ඇතිව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දෙවන කොරෝනා රැල්ලක් නොවන බවත් එය පැවති රෝග පොකුරේ තවත් ව්‍යාප්තවීමක් බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින අය බැලීම සඳහා 116 දෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් විවිධ ප්‍රදේශයන්වල ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එලෙස පැමිණි පිරිස ගමන් කළ ප්‍රදේශවල කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති නම් එම ආසාදිතයින් මේ සතිය තුළ හඳුනාගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් පවතින තත්ත්වය පොදුවේ පාලනය කර ගැනීමට හැකිව ඇතැයි ද යුද හමුදාපතිවරයා පවසයි.