මහානාම එදා ක්‍රිකට් නවත්වන තරමට දුක් වුණා

එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි මහා තාප්පය ලෙස හැඳින්වුයේ ඔහුය. ඒ වෙනින් කවරකුවත් නොවේ, අසංක ගුරුසිංහ හෙවත් ආදරණීයි‘ගුරා’’ ය. එදා 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සනත් – කළු වේලාසනින්ම දැවී ගිය පසු, ගුරා මහා පවුරක් වී අරවින්ද සමග ශක්තිමත් සබඳතාවකට දායක විය. ඒ ආදරණීය ගුරාගේ අද දවසේ ජිවිතය මොන වගේද? ඒ ගැන දැන ගන්නට ඔහු හමු වීමට අපට ඕස්ට්‍රේලියාවට යාමට සිදු වේ. මක්නිසාදයත් ගුරා දැන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිසාය. අතීතයේදී වූ සොඳුරු මිහිරි මතකයන් ගැන කතා කරන්නට බොහෝ කලකට පසු අසංක ගුරුසිංහ අප සමග එක් වූයේ මෙලෙසිනි.

•අසංක මුලින්ම අපට කියන්න මෙල්බර්න් නුවර තත්ත්වය මොන වගේ ද කියලා?

සිඞ්නි, පර්ත්, ඇඩිලේඞ්, බ්‍රිස්බේන්, තස්මේනියා එහෙම ඉතා හොඳ තත්ත්වයට තිබෙන්නේ. නමුත් පසුගිය දින වල හොඳට තිබුණු මෙල්බර්න් නුවර කොරෝනා තත්ත්වය නිසා ආයෙත් තරමක් අඩපණ වෙලා තියෙන්නේ. දැන් ඒ නිසා ආයෙත් ගෙදරටම වෙලා ඉන්න කාලය වැඩියෙන් ලැබිලා තියෙනවා. ඒත් මෙල්බර්න් නුවර කෝවිඩ් තත්ත්වය ඉක්මණට පහව යාවි.අපි දෙන්නගෙ යාළුකමේ තරම තේරුණේ එදා සිටයි

•ගෙදරට වෙලා මොන වගේ වැඩ වල ද නිරත වෙන්නෙ?

සුපුරුදු පරිදි ව්‍යායාම් වල යෙදෙනවා. ඒ අතරේ රාජකාරි වැඩ ඔක්කොම වාගේ කරන්නේ පරිගණක තාක්ෂණය ඔස්සේයි.

•ඕස්ට්‍රේලියාවෙ සිට ඔබ කරන රාජකාරි මොනවද කියලා කිව්වොත්?

පසුගිය කාලයේ සිට ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මගේ දායකත්වය ලබා දෙනවා. පාසල් ක්‍රීඩා සමාජ, ප්‍රාන්ත ක්‍රීඩා සමාජ ආදි තැන් වලට මගේ සේවය ලබා දෙනවා. මෙහි අන්තර් සමාජියීය ක්‍රිකට් තරගාවලිය පටන් ගත්තේ ඔක්තෝබර් මාසයේදීයි. ඒ වෙනුවෙන් දැන් සිටම ලැහැස්ති වෙනවා. පුහුණුකරුවකුට අමතරව, අලෙවි හා අලෙවිකරණය හා කළමනාකරණ උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

•අපි අතීතයට යමු. ඇයි එදා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කළේ ?

1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව උතුරු මෙල්බර්න් ක්‍රිකට් සමාජයට එක් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. වසර තුනක ගිවිසුමකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි තිබුණෙ. මුලින්ම නම් මෙහි ආවේ ඒ වෙනුවෙන්.ඒත් වසර තුනක් එහි ගත කිරීමට සිදු වන නිසා ඕස්ට්‍රේලියාවෙම හිටියොත් හොඳයි කියලා හිතුවා.

•ඕස්ට්‍රේලියාවෙ ගෙවන ජීවිතය හොඳයිද?

මම, බිරිඳ දරු දෙදෙනා අපි ඔක්කොම මෙහේ සතුටින් ජීවත් වෙනවා.

•ආදරණීය ගුරාගේ ඒ කැඳැල්ලේ විස්තර කිව්වොත්?

මගේ බිරිඳ කුෂ්ලානි. අපි දෙදෙනාට පුතකු හා දියණියක සිටිනවා. දුව මේ වසර අන්තිමට විවාහ වීමට සූදානමින් ඉන්නේ. පුතා තව වසරකින් විතර විවාහ වේවි. එයාලා හොඳට ජීවිත ගත කරනවා. අද මමයි බිරිඳයි ගෙදරට වෙලා සුපුරුදු විදිහට අපි ආදරෙන් ඉන්නවා. පුතා කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළා. පසුව එයා ක්‍රිකට් නැවැත්තුවා. ඒකටත් හේතුව වුණේ පුතාගේ දක්ෂතා දිහා බැලු‍වෙ මාව සැසඳීම් කරලයි. එහෙම දක්ෂතා මනින එක සුදුසු නැහැනෙ. කොහොම වුණත් එයා ආර්ථික කටයුතු අංශයෙන් වැඩිදුර ඉගෙන ගෙන එම අංශයේ රැකියාවක නිරත වෙනවා. දියණිය මෙහේ ප්‍රකට වෙළෙඳ නාමයක විලාසිතා ශාඛාවක් අරගෙන එය කළමනාකරණය කරනවා.

•පුතයි තාත්තයි එහිදී එකට ක්‍රිකට් ක්‍රීඩා කරලා නැද්ද?

අපි තරගයක් දෙකක් ක්‍රිඩා කළා. එක් තරගයකදී මම ගත්තේ ලකුණු 10 යි. එයා මට වැඩිය ලකුණු ගත්තා.

•බිරිඳ කුෂ්ලානි ගැනත් කියමු. අපි අහලා තියෙන විදිහට ඔබ බිරිඳට බොහෝම ආදරෙයි. එදා ඇය හමු වූ විදිහ සිහිපත් කළොත්?

ඇත්තම කිව්වොත් ඇයව මුලින්ම මට හමු වුණේ ගුවන් යානයේදීයි. එංගලන්තයේ සිට ලංකාවට එන අතරෙදි තමයි මම ප්ලේන් එකේදි එයාව මුලින්ම දැක්කෙ. හරියටම කිව්වොත් 1986 දී එදා ඉතින් එයා මා එක්ක හොඳින් කතා කළා. ඒ දැන හැඳිනීම එක්ක අපි යාළුවෝ විදියට කාලයක් ගත කළා. තවත් මාස කීපයකට පසුව අපි විවාහ වුණා.

•එදා ඔබ ක්‍රිකට් ක්‍රීඩා නොකළා නම්? මොන වගේ අංශයක නිරත වේවිද?

ඒක හරියටම කියන්න බැහැ. ක්‍රිකට් එක්ක තමයි මුළු ජිවිතයම බැඳී තිබුණෙ. වයස හතරේ පහේ සිටම වගේ ක්‍රිකට් ක්‍රීඩා කළා. මගේ මාමලා තමයි මට එදා ඉඳලා ඒකට උදවු කළේ. මගේ අම්මගෙ අයියලා මල්ලිලා ඔක්කෝම ගියේ ආනන්දයට. එයාලා වගේම මගේ තාත්තාත් උදව් කළා. එදා මගේ ක්‍රිකට් වීරයා වුණේ අනුර රණසිංහ. එයා ක්‍රිකට් ගහන හැටි උනන්දුවෙන් බලා සිටි මම කවදා හරි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළොත් හොඳයි කියලා හිතුවා. නාලන්දයේදී ඉගෙනීමත් හොඳට කළා. සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වුණා. ඉන් පස්සේ උසස් පෙළ කරන අතරේදී විභාගයට ලිවීමට සූදානමින් සිටියදී, පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මාව තේරුණා.

එක්​කො ඔබ සංචාරය යන්න ඕනෑ. නැත්නම් විභාගය ලියන්නට ඕනෑ. අම්මා නම් කිව්වෙ විභාගයට ලියන්න කියලයි. හැබැයි තාත්තා කිව්වෙ, මේ වගේ චාන්ස් එකක් ආයෙ එන්නේ නැහැ. ඒ නිසා සංචාරය යන්න කියලයි. එතකොට මගේ වයස අවුරුදු 18 ක් විතර ඇති. ඒ විදිහට ක්‍රිකට් එක්ක ගිය ගමන තමයි නොනැවතී දිගමට ශ්‍රීලංකා කණ්ඩායම සමග ගියේ. අම්මගෙ අරමුණ වුණේ මට හොඳට උගන්වන්නයි. ගණිතයට මම බොහෝ දක්ෂ වුණා. ඩබල් මැත්ස් (සංයුක්ත ගණිතය) පවා කළා.

•ක්‍රිකට් විතරම ද එදා ජීවිතය වුණේ? වෙනත් රැකියාවක් කළේ නැද්ද?

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරද්දි ඊට සමගාමීව නවලෝක සමාගමේ සේවය කළා. උපාලි සහ ජයන්ත ධර්මදාස මහත්වරුන්ට බොහොම ස්තූති වන්ත වෙන්නට ඕනෑ. වසර පහක් එහි සේවය කළා. පාසලින් අයින් වෙන කොටම මාව අරගෙන එයාලා මට කිව්වෙ ඔයාව ගත්තේ වැඩ කරන්නට නෙවෙයි. හොඳට මහන්සි වෙලා ක්‍රිකට් ගහන්න කිව්වා. හරියටම කිව්වොත් එයාලා කළේ මට අනුග්‍රහය දැක්වීම වගේ දෙයක්. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මුලින්ම මාව ඒ විදිහට ගෙනාවෙ උපාලි ධර්මදාස මහත්මයා. පසුව සම්පත් බැංකුවෙත් මම සේවය කළා. ඒ වගේම සන්ඩේලීඩර් එකේ මාකටිං මැනේජර් කෙනෙක් ලෙස පසුව සේවය කළා.

•ආදරණීය ගුරා, ඔබගේ ක්‍රිකට් දිවියෙ ආදරණීය සැමරුම් ​ගොන්න අතරට අපි හැරෙමු. ඒ සැමරුම් එකිනෙක ලිහා දමමු. කවුද එදා ඔබගේ හොඳම මිතුරා වුණේ ?

පාසල් සමයේ සිට ඒ කියන්නේ වයස අවුරුදු එකොළහේ පමණ කාලයක සිට මගේ හොඳම මිතුරා වුණේ රොෂාන් මහානාම. අපි දෙන්නම ක්‍රිකට් පටන් ගත්තේ එකට. නාලන්දාවට ඒමට පෙර පහ වසර දක්වා මම ගියේ ඉසිපතනයට. නාලාන්දාවෙදි ක්‍රිකට් පටන් ගත්තෙ 13 න් පහළ කන්ඩායමේ සිටයි. එදා 13 න් පහළ තරගයකට අපි දෙන්නා ක්‍රීඩා කරමින් සිටියෙ. මම දැවී ගියා. ග්ලව්ස් (අත් ආවරණ) ගලවාගෙන මම ක්‍රීඩා ගාරයට ආවා. මේ දිහා බලාන හිටපු නෙල්සන් මෙන්ඩිස් සර් ඔයා මාළු කූරියෝ දෙන්නෙක් වගේ ග්ලව්ස් ගේන්නෙ ඔහොමද ඇහුවා. කවදාවත් ඔහොම කරන්න එපා කිව්වා. එදා ඉඳලා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරද්දි පවා කවදාවත් ඒ වැරැද්ද කළේ නැහැ. මට සර් කිව්ව දේ මතක් වුණා. රොෂාන් පළමු පෙළ කණ්ඩායමට මට කළින් ක්‍රීඩා කළා. හැබැයි පාසල් ක්‍රිකට් වලට සමුදුන් පසුව මුලින්ම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමේ වාසනාව ලැබුණෙ මට. රොෂාන් සහ මම එදා වගේම අදටත් හොඳ මිතුරන්.

•ඔබගේ විවාහ දින යාළුවට හිටියෙත් රොෂාන් නේද?

නැහැ. නැහැ. ඒකත් හරි අපූරු සිදුවීමක්. එයා විවාහ වෙලා දින 6 ක් ඇතුළත දි මාත් විවාහ වුණා. එකම අවුරුද්දෙ එකම මාසයකදී තමයි මේ විවාහ සිදු වුණේ. 1988 දි මම මගේ බිරිඳ සමගත්, රොෂාන් එයාගෙ බිරිඳ එක්කත්, මාස ගණනක ගිවිසුමකට අනුව ඕස්ට්‍රේලියාවෙ ක්ලබ් එකක ක්‍රිකට් ගහන්න ආවා. රොෂාන්ගෙ අයියා දේවකත් එයාගේ බිරිඳත්, අරවින්දත් හිටියා. අරවින්ද එතකොට විවාහ වෙලා නැහැ. අපි හතර දෙනා මාස 4 ක් ක්‍රිකට් ගහන්නයි ආවේ. එදා මගේ වෙඩින් එකට ශ්‍රී ලංකා කණ්ඩායමේ කවුරුවත් සහභාගී වුණේ නැහැ. තරග සංචාර නිසා කාටවත් එන්න බැරි වුණා. රොෂාන් සහ මා අතර යාළුකම ගොඩාක්ම ශක්තිමත් වුණේ පොඩි කාලයේ ඉඳලාම නාලාන්දාවේ සිට ක්‍රිකට් ක්‍රීඩා කළ නිසයි. එදා ඉතා අඩු වයසින් පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට රොෂාන් ඇතුළත් වෙලා. පළමු තරගය ක්‍රීඩා කරද්දි හරි අපුරු සිදුවීමක් වුණා.

•අපි ඒ ගැනත් කියමු ?

එයා අඩු වයසින් පළමු පෙළ කණ්ඩායමට තෝරා ගත්තාය කියලා සමහරු ඊට විරුද්ධව පාසල වටා කළු කොඩි දාලා තිබුණා. ඒක කවුද කළේ කියලා මම නම් කියන්න යන්නෙ නැහැ. එදා ඔක්කෝමලා ​රොෂාන්ට එරෙහි වුණාම මම විතරයි එයත් එක්ක එකට හිටියෙ. එදා තමයි අපි දෙන්නට තේරුණේ අපි දෙන්නගෙ යාළුකමේ තරම කොච්චරද කියලා. ඒ ප්‍රශ්නත් එක්ක කල කිරිලා හිටපු රොෂාන් එදා ක්‍රිකට් නතර කරන්නත් හැදුවා. ඒත් එයාගෙ තාත්තත් නෙල්සන් මෙන්ඩිස් සර් එහෙමත් එකතු වෙලා එයාගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න මාර්ගය හදලා දුන්නා. මේ සියලු‍ සිදුවීම් එක්ක රොෂාන්ට එදා සිට හොඳම යාළුව වුණේ මම.

•ශ්‍රී ලංකා කණ්ඩායමේ අතීත මතකයන් කරා අපි යොමු වෙමු. ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම ආ දින සිට වූ සොඳුරු මිහිරි සිදුවීම් ආවර්ජනය කළොත් ?

එදා මම මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එද්දි, නායකත්වය දැරුවෙ දුලිප් මෙන්ඩිස්, උප නායකයා වුණේ රෝයි ඩයස්. ඒ දෙන්නා අවුරුදු 18 ක තරුණ ළමයකු වූ මාව බලා ගත්තේ පියවරුන් වගෙයි. ඒ තරමට හොඳට මාව බලා ගත්තා. එයාලා ඒ වෙන විට සිටියෙ ක්‍රිකට් පිටියෙන් සමු ගන්න වයසෙ. ඒත් ආධුනික මාව බලාගත් විදිය, මට ජීවිතේ කිසිදාක අමතක වෙන්නේ නැහැ. මෑතකදී මම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්ව කටයුතු කළ කාලයේදී එදා ඒ ජ්‍යෙෂ්‍ඨයින් වෙතින් දුටු දේ අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්‍ඨයින් වෙතින් දුටුවේ නැහැ.

ඒක එක්තරා විදිහකට කනගාටුවට කාරණයක්. දැන් කාලයේ ජ්‍යෙෂ්‍ඨ ක්‍රීඩකයින්, අලු‍ත් ක්‍රීඩකයින්ව ඒ විදිහට බලා ගන්නේ නැති බව මා දැකපු දෙයක්. ඒනිසා එදා මම හරිම වාසනාවන්තයෙක් වුණා. මමයි, අර්ජුණයි, අරවින්දයි එදා නවක ක්‍රීඩකයින් ලෙස එකට හිටියෙ.එදා අපට ජ්‍යෙෂ්‍ඨයින් සලකපු විදිහ නිසා අපට ඇති වුණේ ලොකු විශ්වසනීයත්වයක්. පිටිය මැදට ගිහින් ක්‍රීඩා කරද්දි අපි ​ලොකු ගැම්මකින් ගියේ. ​මොකද කිව්වොත් කැප්ටන් සහ වයිස් කැප්ටන් අපි එක්ක ඉන්න බව අපි දැන ගෙන හිටියා. රන්ජන් මඩුගල්ලේ පවා එහෙමයි. හරි හොඳ ජ්‍යෙෂ්‍ඨයින්.

•අර්ජුන නායකත්වයට ආවම ?

කියන්න සතුටුයි. ඒකත් අපි ලබපු ලොකු භාග්‍යයක්. ඔහු යටතේ ක්‍රීඩා කරද්දි ජ්‍යෙෂ්‍ඨ ක්‍රීඩකයින් පහක් හිටියා. අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන් සහ මම. ටීම් එකේ ඔක්කෝම බලා කියා ගත්තේ අපි. කළමණාකරුට පුහුණුකරුවන්ට සහ පරිපාලනයේ කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරි විදිහට අපි ක්‍රීඩකයින්ගේ ඩිසිප්ලීන් හැදුවා. අර්ජුන නායකයා ලෙසත් අරවින්ද උපනායක ලෙසත්, තරග කරන හැටි සැලසුම් කරද්දි ඒ වෙනුවෙන් මනස යොදවද්දි අපි කළේ කණ්ඩායමේ විනය සහ හැසිරීම් සියල්ල හොඳින් තියාගෙන යන්න අනෙක් ක්‍රීඩකයින්ව හොඳ විදිහට මෙහෙයවීමයි. සනත් වාස් මුරලි ප්‍රමෝද්‍ය මේ ඔක්කෝමලාගෙ ප්‍රථම තරගය ක්‍රිඩා කළේ අපිත් එක්ක. සනත් එයාගේ පළමු තරගයේ ඉනිම ක්‍රීඩා කරද්දි එහා පැත්තේ හිටියෙ මම. අපි එදා එයාලව බලා ගත්තේ හොඳින්.

•කවුරු හරි වැරැද්දක් එහෙම කළාම සැර වෙන්නත් ඇති?

මම එහෙම වෙලත් තියෙනවා. හැබැයි කිසිවක් පුද්ගලික විදියට නෙවෙයි. ඒ කණ්ඩායම ඉතාම විශිෂ්ට සංකලනයකින් යුතු කණ්ඩායමක් වුණේ ඔය මම ඉහත කී ස්වභාවයන් නිසයි. නවකයකු හට ප්‍රශ්නයක් ආවා නම් ඒ කවුරුවත් අපි දාලා ගියේ නැහැ. එයාලට ලොකු විශ්වාසයක් තිබුණෙ. නායකයා උප නායකයා සහ ජ්‍යෙෂ්ඨයින් එයාලා එක්ක ඉන්නවාය කියා. පසුව සනත් නායකයා වෙලා කණ්ඩායම මෙහෙයවද්දි පවා ඒ ඩිසිප්ලීන් (විනය) හොඳින් තිබුණා. ඉන් පසුව තමයි ටිකෙන් ටික ඒවා නැතුව ගියේ. සනත් මුරලි වාස්ලා එළියට ගියාම තමයි ඒ මා කියූ විදිහට ශක්තිමත්ව තිබූ විනය හීන වෙන්න පටන් ගත්තේ. හැබැයි මම මහේල සංගලා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරලා නැති නිසා එයාලා ගැන කියන්න බැහැ. එහෙම කියනවා නම් ඒක වැරදියි. මම කිව්වේ අන්තිමට මා දුටු ස්වභාවය ගැනයි. ඉස්සර අපි ටීම් එක එකටමයි හිටියෙ. කෑමකට එළියට ගියත් ඔක්කෝමලා එකටමයි ගියේ. ඒ නිසා ලොකු බැඳීමක් ඇති වුණා. ඒ අතීතය මට නම් සදා අමරණීයයි.

•අර්ජුන සහ අරවින්ද එක්ක ඔබට තිබුණු බැඳීම මොන වගේද?

ඒ මිත්‍රත්වය එදා වගේම අදටත් ඒ විදියටම තියෙනවා. 19 න් පහළ ක්‍රීඩා කරද්දි අරවින්ද තමයි කැප්ටන් කළේ. එදා ඉඳලා අපි ක්‍රීඩා කරලා තියෙනවා. අර්ජුන සහ මම දෙන්නාම පාසල් ක්‍රිකට් වලින් පසුව එස්.එස්.සී. එකට ගැහුවෙ. අර්ජුන විතරක් නෙවෙයි. එයාගෙ අයියා ධම්මික සහ මල්ලිලා මගේ හොඳම යාළුවො. අර්ජුනටත් කලින් මගේ ​හොඳම යාළුවා වුණේ නිශාන්ත රණතුංග. එයයි මමයි එස්.එස්.සී. එකට ආවෙ එකම කාලයේදීයි. ඉන් පසුව රණතුංග පවුලම මගේ යාළුවෝ වුණා. ඒ පවුලට මම හරි සමීප චරිතයක් වුණා. එක පාරක් අපි කතරගම චාරිකාවක් ගියා. මමයි අපේ අම්මයි තාත්තයි ගෙදර අයයි සහ අර්ජුනයි, එයාගේ ෆැමිලි එකයි. අපි එක බස් එකක ගියේ. රණතුංග පවුලේ කොල්ලො හයක් විතර හිටියා. ඒ ගමන හරිම සුන්දර මතකයක්. අර්ජුනගෙ අම්මා තාත්තාත් හිටියා. පසුවටත් ඒ වගේ දේ සිදු වුණා.

•එතකොට අරවින්ද?

එයා ට්‍රිප් වලට ආවේ නැති වුණාට කොළඹදි නිතර මුණ ගැහුණෙ අරවින්ද සහ මමයි රොෂානුයි. ඒ කාලයේ අද වගේ බොහෝ තාක්ෂණය තිබුණෙ නැහැනෙ. කරන්න දේ තිබුණෙත් නැහැ. අපි කළේ කාගේ හරි ගෙදරකට ගියා. එක්​කෝ අරවින්දගේ ගෙදර නැත්නම් රොෂාන්ගේ හරි අපේ ගෙදර හරි ඒත් නැත්නම් රෝයි ඩයස් අයියගේ ගෙදර ගියා.

•එදා ඔබ ක්‍රීඩා කළ කාලයේදී පවුලක් වගේ එකට ශ්‍රී ලංකා කණ්ඩායම සිටිය රහස මොකක්ද? ඒ බැඳීම ඇති වුණේ මොන වගේ හේතු නිසාද?

අර්ජුණ, අරවින්ද, රොෂාන්, හෂාන් සහ මම පාසල් ක්‍රිකට් පිටියේ සිට එක දිගට ක්‍රීඩා කිරීම නිසාත් එකට හිටපු නිසාත්, ඒ බැඳීම ඇති වෙන්න ඇති. සනත්ලා මාවන්ලා වාස් එහෙම. ප්‍රමෝද්‍යලා එහෙම ආවාමත් ධර්මසේන මුරලි ඇතුළු ඒ ඔක්කොම ගත්තාම නිරන්තරයෙන් කණ්ඩාය​ෙම් එක දිගට හිටපු අයයි. දීර්ඝ කාලයක් එකට ඉන්න කොට ඒ බැඳීම ඇති වෙනවනෙ. අපි එකිනෙකා විශ්වාස කළා. ඒ වගේම එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තිබුණෙ. එතකොටනේ ඒ වගේ කණ්ඩායමක් කලාතුරකින් ඇති වෙන්නේ.

•ගුරා එදා 96 අවසන් තරගයේදි සනත් කළු වේලාසනින්ම දැවී ගියාම පිටියට එද්දි ඔබට චකිතයක් තිබුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. මොකද අපට හොඳ සැලසුමක් තිබුණෙ. අරවින්ද ඕවර 50 ම බැට් කරනවා කියන සැලසුම මුල ඉඳලාම තිබුණා. එක ප්ලෑන් එකක් අසාර්ථක වුණොත් අපට ප්ලෑන් බී එකක් තිබුණා. කණ්ඩායමේ එකිනෙකා කළ යුතු දේ ගැන එකිනෙකා අතර ලොකු අවබෝධයක් තිබුණා. ඒ සියලු‍ දේ නිසා තමයි අපි ලෝක කුසලානය එදා ජයග්‍රහණය කළේ. එහෙම නැතුව එය අහම්බයක් නොවෙයි.

Next Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

Tue Jul 14 , 2020
කොරෝනා වසංගත තත්වය නැවත රට තුළ ඉස්මතු වීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති බිය හා සැක සංකා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුල රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා මහජනතාව ඒකරාශී වීම මත අනපේක්ෂිත තදබදයක් නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. ඊයේ දිනය […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News