ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතුයි ඒත් සැපයුම 5% – 10% – කකුළුවන්ගෙන් විදේශ විනිමය ගෙනෙන හැටි මෙන්න

ජාත්‍යන්තරයේ ආහාරයක් ලෙස කකුළුවන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ අතරේ ශ්‍රී ලංකා තේවලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම සේම අපේ කකුළුවන්ටද එවන් ඉල්ලුමක් ඇත්තේ ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතු බැවිනි.

මත්ස්‍ය පවුලට ගැනෙන කකුළුවන් විශේෂයෙන්ම සිංගප්පූරුව, චීනය, ජපානය, යුරෝපාකරයේත්, සුපිරි තරුපති අවන්හල්වලත් බොජුන්පතේ සඳහන් මිල අධික ආහාරයකි. විශේෂයෙන්ම අපේ රටේ සංචාරක ව්‍යාපාරයටද කකුළුවන් නැතිවම බැරි ආහාරයක් වුවද ඒ ඉල්ලුමට සරිලන කකුළු නිෂ්පාදනයක් මෙරට තුළ නැති තරම්ය.

දේශබන්දු ප්‍රදීප් නානායක්කාර හා සනත් ප්‍රනාන්දු ගීකියනගේ යන ව්‍යාපාරිකයන් දෙපළ කකුළුවන් පිළිබඳ කළ ගවේෂණ හා හැදෑරීම්වල අවසන් ප්‍රතිඵලය වූයේ හලාවත නගරාසන්නයේ විශාල භූමි භාගයක කකුළු අභිජනන මධ්‍යස්ථානයක් බිහිකිරීමයි. ජී.ජී. හෝල්ඩින්ග්ස් නම් මෙම ගෘහස්ථ තිරස් කකුළු අභිජනන මධ්‍යස්ථානයේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ කකුළුවන් අපනයනය කර රටට විශාල අපනයන ආදායමක් ලබාදීමත්, ගෘහස්ථව ඕනෑම අයෙකුට ස්වයං රැකියාවක් ලෙස කකුළුවන් අභිජනනය කිරීම උදෙසා ශක්තිමත් කිරීමත්ය. එසේම ඍජු හා වක්‍රව මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනයන් ඉලක්ක කෙරේ.

මෙය රුපියල් ලක්ෂ 75ක ලෝක බැංකු ආධාර යටතේ, පිලිපීන  ඉංජිනේරුවන්ගේ තාක්ෂණය යටතේ මෙරට ඉදි වූ අතිසාර්ථක දැවැන්ත ව්‍යාපෘතියක් බව අපට පසක් වූයේ එහි කළ සංචාරකයකින් අනතුරුවය. කලපු ජලයේ නිදහසේ වැඩෙන කකුළුවන් කලපු ජලය ගෘහස්ත ටැංකි තුළට පොම්ප කර එම ටැංකි තුළ අපනයන තත්ත්වය දක්වා කකුළුවන් උස්මහත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

කකුළුවන් ඇතිකිරීමත්, අභිජනනයත්, අපනයනය දක්වා කෙරෙන දැවැන්ත ක්‍රියාවලිය පිළිබඳවත් මෙම ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂක දේශබන්දු ප්‍රදීප් කුමාර නානායක්කාර මහතා අප හමුවේ සිය හඬ අවදි කළේ මෙසේය.

“කකුළුවෝ කියන්නේ අද වනවිට ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙන වෙළෙඳාමක්. ඒත් අපේ රටේ අපනයනය කරන දේවල් අතරින් කකුළුවන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉල්ලුමෙන් සියයට 5-10 අතර ප්‍රමාණයක් තමයි අපි යවන්නේ. හේතුව අපේ රටේ කකුළුවෝ අල්ලන්න වෙලා තියෙන්නේ කලපුවලට බැහැලා, ඒක ඉතාම දුෂ්කර කටයුත්තක්.

ඒ වගේම කලපුවල ඉන්න කකුළුවෝ එකම ප්‍රමාණයකින් නැති නිසා අපනයන තත්ත්වයට සුදුසු කකුළුවන් හිඟයි. ගංවතුර කාලෙට කලපු කකුළුවෝ අල්ලන්න බෑ. පොකුණුවල හදන කකුළුවොත් ගුල් හාරගෙන යන නිසා විධිමත්ව ඒ කටයුත්ත කරන්න අමාරුයි. අනෙක් අතට කලපුවේ හදන කකුළුවොයි. ගෘහස්ථව පෙට්ටි තුළ හදන කකුළුවන්ගෙයි රසයේ කිසිම වෙනසක් නෑ. ඒ ගැන විශේෂඥයන් කරපු පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. උන්ගේ ඩී.එන්.ඒ. එක්ක කළ පර්යේෂණවලින් ඒ බව සනාථ වෙලා තියෙනවා. ඒ නිසා මෙම තිරස් කකුළුවන් ඇති කිරීමේ හා අභිජනන ක්‍රියාවලිය හරහා අපිට සියයට සියයක සාර්ථක අස්වැන්නකට යන්න පුළුවන්.

චීනය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව හා තායිවානය වගේ ආසියාතික රටවලත්, යුරෝපයේ එංගලන්තය, කැනඩාව, ප්‍රංශය වගේ රටවලට මෘදු කටුව සහිත කකුළුවන්ටත් විශාල ඉල්ලුමක් තිබෙනවා. සිංගප්පූරුවේ මා සමග ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ව්‍යාපාරිකයෙක් කිව්වා ලංකාවේ කකුළුවන්ට ඒ රටේ විශේෂ කැමැත්තක් තිබෙනවා කියලා. ඔවුන් ඇලස්කාවෙන් ගෙන්වන කකුළුවන් රසයෙන් අඩුයි කියලත් කිව්වා.

ඉන් අනතුරුව මට මේ කර්මාන්තය ගැන විශාල ඇල්මක් ඇතිවුණා. මගේ මිතුරෙකු වූ හිටපු නියෝජ්‍ය රේගු අධිකාරීවරයෙකු වූ සනත් ප්‍රනාන්දු මහතා එක්ක කතා කළා. අපි දෙදෙනාම කකුළුවන් අභිජනනය ගැන හදාරන්න පටන් ගත්තා. අනතුරුව අපි පිලිපීනයේ ගිනිකොනදිග ආසියානු මත්ස්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ ජලජීවී දෙපාර්තමේන්තුවේ (Seafdec) කකුළුවන් අභිජනනය පිළිබඳ පාඨමාලවක් හැදෑරුවා. එහිදී ඔවුනට වැලඳෙන ලෙඩ රෝග හා ඒවාට පිළියම්, ඔවුන් පෝෂණ රටාව, අපනයන තත්ත්වයට සකසන ආකාරයත් ආදිය ගැන ගැඹුරින් හැදෑරුවා.

ඒ අනුව අපි මේ කටයුත්ත 2016 වසරේ ලෝකු බැංකු ආධාර යටතේ ආරම්භ කළා. එහි සමස්ත ආයෝජනය රුපියල් ලක්ෂ 750ක්. 2016 සිට ශ්‍රී ලංකා රජය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාතක්මක කරන කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ මූල්‍ය පහසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම තිරස් කකුළුවන් ඇතිකිරීමේ හා අභිජනන ව්‍යාපෘතිය වෙන්නේ මේ ව්‍යාපෘතියයි.

දැනට මේ ව්‍යාපෘතිය වැවිලි හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ රෝහණ ගමගේ, නියෝජ්‍ය  අධ්‍යක්ෂ ඩී.සී.ඒ. ගුණවර්ධන, දකුණු පළාත් කළමනාකාර කැලුම් අමරතුංග, කෘෂි තාක්ෂණ විශේෂඥ නිමේන්ද්‍ර මනම්පේරි යන මහත්වරුත්, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න, එම අධිකාරියේම වෙරළබඩ ජලජීවී වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.ඒ. සමින්ද ලක්මාල් හා වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලෙනදූව යන මහත්වරුන් මෙන්ම සම්පත් බැංකුවේ රාගම ශාඛාවත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දැක්වූ සහය අපි ඉතා ගෞරවයෙන් සිහිකරනවා.

අපි මේ වනවිට අපේ ප්‍රධාන ගැනුම්කරුවා වන සිංගප්පූරුවත්, හොංකොං හා චීනය සමගත් කකුළුවන් අපනයනයට ගිවිසුම්ගත වී සිටිනවා. අපේ මාසික අපනයනය කකුළුවෝ කිලෝ 5000ක් හෙවත් ටොන් 5ක් ඉදිරියේදී එය කිලෝ 10000ක් හෙවත් ටොන් 10ක් දක්වා වැඩි කරනවා.

සාමාන්‍ය‘යෙන් වරකට කකුළුවන් බිත්තර ලක්ෂ 12-15 අතර ප්‍රමාණයක් දමනවා. නමුත් ඉන් සාර්ථක වෙන්නේ සියයට 5-10 අතර ප්‍රමාණයක්. නමුත් අපි දැනට කලපුවලින් ලබාගන්නා මවුසත්තු පිලිපීනයේ තාක්ෂණය හා මුසු කරලා මුළු පැටවුන්ගෙන් සියයට 25-30 අතර ප්‍රමාණයක් නීරෝගී පැටව් විදිහට අපනයනයට යොදා ගන්නවා. කුඩා, මධ්‍යම, විශාල හා අතිවිශාල යනුවෙන් කකුළු ප්‍රමණ හතරක් ග්‍රෑම් 500, 700, 900 හා කිලෝ එකයි ග්‍රෑම් 500 යන බරින් යුතුව අපනයනයට සූදානම් කෙරෙනවා.

පිලිපීන ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය තුළ සවිකළ විශාල යන්ත්‍ර සූත්‍ර මගින් කලපු ජලය ගෘහස්ථ ටැංකිවලට රැගෙන විත් පිරිපහදු කර එම ජලය ප්ලාස්ටික් ලාච්චුවලට සපයා දින 45ක් පමණ කාලයක් තුළ ඉන්දියාවෙන් ආනයනය කළ විශේෂ කෑම හා කුඩා මාළු ආහාරයට ගෙන වැඩෙන කකුළුවා නියමිත බරින් යුක්තව අපනයනයට සූදානම් කෙරෙනවා.

මේ ව්‍යාපෘතිය දේශීය, විදේශීය වෙළෙඳ පොළ දෙකම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලංකාවේ ගෘහස්ථ කකුළු කර්මාන්තය ස්වයං රැකියාවක් විදියට කරන කෙනෙකුට අපෙන් අභිජනනය කළ නිරෝගී පැටවුන් අරගෙන මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. ඒ අයගේ අස්වැන්න අප මිලදී ගැනීමටත් සූදානම්.

මේ ව්‍යාපෘතියෙන් ඍජු රැකියා 25ක්, වක්‍ර රැකියා 150ක් හා ව්‍යාපෘතිය හරහා යැපෙන 2000ක් වගේ පිරිසකට සෙත සැලසෙනවා. ඒ වගේම ගෘහස්ථව මේ කර්මාන්තය පටන්ගන්න අයෙකුට අවශ්‍ය සියලුම තාක්ෂණයත් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපෘතිය සියයට සියයක් පරිසර හිතකාමී ව්‍යාපෘතියක්.”

Next Post

ටිරාන් අලස් නිදහස්

Fri Jul 10 , 2020
රාඩා නඩුවෙන් ටිරාන් අලස් මහතා ඇතුළු 4 දෙනෙකුගේ සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද(10) දිනයේ නියම කරන ලදි 2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව […]

Breaking News