මෙල්බර්න් ලොක්ඩවුන් කිරීම නිසා පීඩා විඳින ශ්‍රී ලාංකිකයෝ

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව පනවා ඇති ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් යළිත් දැඩි පීඩාවට ලක්වී තිබේ.ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව කොරෝනාවෛරසය යළිත් ව්‍යාප්ත වීමත් සමග සති 6ක කාලයක් සඳහා ඊයේ රාත්‍රියේ සිට සීමා පනවනු ලැබිණි.

කොරෝනා ආසාදිතයන් 191 දෙනෙකු වාර්තා වීමත් සමග ඔස්ට්‍රේලියාවේ දෙවන විශාල නගරය වන මෙල්බර්න් නගරය ඇතුළු නගර කිහිපයක් නැවතත් වසා දමන බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෘස් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.ඒ අනුව, සති 6ක කාලයක් පුරාවට අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් එහි නගර වාසීන්ට සිය නිවෙස්වලින් බැහැර වීමට අවසර ලැබේ.

ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම, අත්‍යවශ්‍ය රැකියාවල නිරත වීම, ව්‍යායාම් කිරීම සහ වැඩිහිටියන් හෝ ළමුන් රැක බලා ගැනීම යන කාරණා 4 සඳහාය.ඔස්ට්‍රේලියානු රජය විසින් පසුගිය දා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එරට පනවා තිබූ සීමා මාස තුනකට පමණ පසු ලිහිල් කිරීමට කටයුතු කළේය.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලාංකික සිසුන් වැඩි වශයෙන් තෝරා ගනු ලබන විදෙස් රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ප්‍රමුඛස්ථානයක් ගනී.ඉන් වැඩි සංඛ්‍යාවක් ජීවත් වනුයේ, එරට වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මෙල්බර්න් සහ ඒ අවට නගරවලය.

කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් කිරීමත් සමග පසුගිය දා එහි වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයකට සිය තාවකාලික රැකියා අහිමි විය. කෙසේ වෙතත්, රට නැවත විවෘත කිරීමත් සමග එලෙස ඇති වුණු දුෂ්කරතා සමනය වීම ආරම්භ වුව ද, නැවතත් මෙල්බර්න් ඇතුළු නගර වසා දැමීමට කටයුතු කර ඇති නිසා, එම අර්බුදය නැවත මතු වනු ඇති බවට එහි ජීවත් වන ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවසති.

මේ වන විටත්, සැලකිය යුතු පිරිසකට රැකියා අහිමි වී ඇති බව විමසීමකදී දැනගන්නට ලැබිණි.”කොරෝනා ආවට පස්සේ අපිට රැකියා නැතිව ගියා. ඒක ගොඩක් බලපෑවේ සෙනග වැඩි පිරිසක් ගැවසෙන තැන්වල වැඩ කරපු අයට. මෙහෙ ඉගෙන ගන්න එන අය ලොකු රස්සාවල් කරන්නේ නැහැ. පස්සේ අපිට ආයෙත් රස්සාවල් හම්බුණා. ඒත් දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය එක්ක අපිට ආයෙත් රස්සාවල් නැති වෙලා.” – ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ශිෂ්‍යයෙක් (මෙල්බර්න්, වික්ටෝරියා ප්‍රාන්තය)

ඒ හේතුවෙන්, ඔවුන්ට ආහාර ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු වී ඇති අතර, අධ්‍යාපන කටයුතු සඳහා ද මුදල් ගෙවීම දුෂ්කර වී ඇත. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත්තේ, විදෙස් සිසුන් නවාතැන් ගෙන සිටින ස්ථානවලට ගෙවීම් කිරීමට එම සිසුන් අපොහොසත් වුව ද, ඒවායෙන් ඔවුන් ඉවත් කිරීමට කටයුතු නොකරන බවය.

මීට පෙර, එරට පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් විසින් කොරෝනාවෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිව දුෂ්කරතාවට පත් වූ ලාංකික සිසුන්ට උපකාර කර තිබේ.”කොරෝනා නිසා වැඩිපුර ම දුෂ්කරතාවයට පත් වුණේ මෙහේ ඉගෙන ගන්න ආව ළමයි. ඉතින් ඒ අයට මෙහේ ඉන්න ලංකාවේ අය එකතු වෙලා උදව් කළා. කෑම පැකට් පවා දුන්නා ඒ අයට. ෆේස්බුක් හරහා එහෙම ප්‍රශ්න වෙලා ඉන්න අය ගැන තොරතුරු අරගෙන තිබුණා

මෙම අර්බුදයට බෙහෙවින් ම මුහුණ පා ඇත්තේ එරට පුරවැසිභාවය අහිමි, උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පිරිසක්ය.”මේ වෙද්දී අපිට තවත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි රස්සා කරන සමහර තැන්වල අය අපිට වෙනස්කම් කරන එක. කොරෝනා නිසා මෙහෙ ඉන්න සමහර අයට රස්සා නැති නිසා, අපි වගේ වෙනත් රටවල්වලින් ආව අයට වෙනස්කම් කරනවා. එක දවසක් මම වැඩ කරන තැන අයිති කෙනා කිව්වා අපිව බ්ලීච් කරනවා කියලා. ඒක එයා විහිළුවෙන් වගේ කිව්වට අපිට ගොඩක් ඒක දැනුණා. මෙහෙ ගොඩක් ඉන්නේ ලංකාවේ, ඉන්දියාවේ, නේපාලයේ ඉඳන් ආව ළමයි. අපේ හමේ පාට නිසා ද දන්නේ නෑ එයා එහෙම කිව්වේ.”

එලෙස අදහස් දැක්වූයේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකි.මේ අතර, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන නිරෝෂන් රණවීර ප්‍රකාශ කළේ, ලොක්ඩවුන් කිරීම හරහා ආර්ථිකයේ යම් කඩා වැටීමක් සිදුව ඇති බවය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටිනුයේ, මෙල්බර්න්හි අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් බව ඔහු ප්‍රකාශ කළේය.“ඒගොල්ලන් කරන්නේ තාවකාලික රස්සාවල්. ගොඩක් වෙලාවට පෙට්‍රල් ෂෙඩ්වල එහෙම නැත්නම් අවන්හල්වල. ඒවා දැන් වහලා නිසා ඔවුන්ගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි. කොහොම වුණත් අපි ඒ වගේ අය හොයාගෙන ඔවුන්ට උපකාර කරනවා,“ නිරෝෂන් රණවීර පැවසීය.

මේ අතර, මෙල්බර්න්හි පදිංචි චරිණි බණ්ඩාර අදහස් දක්වමින් සඳහන් කළේ, ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.ඊට අමතරව, සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමක් කර නොමැති හෙයින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද ඇය පෙන්වා දුන්නාය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 165ක් දෙනෙකු වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයන් 9000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 106ක් වාර්තා වී තිබේ.

Next Post

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196 හමු වේ

Fri Jul 10 , 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි අය සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය. ඊයේ(10) දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ. කන්දකාඩු […]

Breaking News