අද දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර

අද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2154ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දින වාර්තා වූ ආසාදිතයන්ගේ තොරතුරු…
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින
නාවික හමුදා සමාජිකයන් 1යි – පූනෑව නිරෝධායන මධ්‍යස්ථානය
කටාර් සිට පැමිණි 1යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් – 56

අනෙක් රෝගියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවය කරන මාරවිල ප්‍රදේශයෙන් හදුනාගත් කාන්තාවයි

ගෙවී ගිය සති තුනක කාලය තුළදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග රටවල සේවය කළ තවත් ලාංකික ශ්‍රමිකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව එම වයිරසය වැළඳීමෙන් මියගිය, මැදපෙරදිග සේවය කළ ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. ඉකුත් ජුනි 19 වන විට මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී කොරෝනා වයිරසය වැළඳීමෙන් ලාංකිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන් සහ ලෙබනනය යන රටවල දී මෙම ලාංකිකයන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.මියගිය 35දෙනා ගෙන් 33දෙනෙකුම පිරිමින් වන අතර ජීවිතක්ෂයට පත් වූවන් අතර සිටිනුයේ කාන්තාවන් දෙදෙනෙකු පමණකි.

කොරෝනා වසංගත තත්ත්වය තුළ පවතින ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මියගිය ලාංකික ශ්‍රමිකයින් 35 දෙනාගේ අවසන් කටයුතු ඔවුන් සේවය කළ රටවලදී සිදුකළ බවත්, වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින් , මියගිය අයගේ මෙරට සිටින පවුලේ සාමාජිකයින් සිය කැමැත්ත මත එම අවසන් කටයුතු සිදු කරනු ලැබූ බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ලොවපුරා කොරෝනා වසංගත තත්ත්වය වාර්තා වූ දින පටන් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයින් 40,000 කට වැඩි පිරිසකට යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද ආරක්ෂිත හේතූන් සහ රට තුළ පවතින නිරෝධායන පහසුකම් නොමැතිකම හේතු කොට ගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීම වරින් වර සිදු කිරීමට රජය සිදුව ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

වැඩිවන ඉල්ලීම්වලින් පසුව ශ්‍රී ලංකා රජය විසින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළද, දැඩි සෞඛ්‍ය හා ගමන් සීමාවන් තිබියදීත් මැදපෙරදිග රටවල්වල තවමත් දිනෙන් දින වාර්තාවන කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

Next Post

ජනපතිගේ වාහනයෙන් සනත් එළියට දමයි

Thu Jul 9 , 2020
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට රට වටා යන ගමනේදී ආනමඩුවේ සිදු වූ සිද්ධියක් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් නිශාන්ත මහතාව ජනාධිපතිවරයා විසින් තමන් සිටි වාහනයෙන් බස්සවා තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතාව තම වාහනයට නංවා ගැනීම පිළිබඳව විවිධ මත […]

Breaking News