ගාල්ල බස් නැවතුම්පොළේදී, වලංගු රියදුරු බලපත්රයක් ද නොමැතිව, මහජනතාවට පීඩාකාරී වන අයුරින් නොනවත්වා අධික ශබ්දයක් නැගෙන සේ නළාව නාද කරමින් සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකු, බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා අද (05) අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ රථ වාහන අංශයට බාර දී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ එහි රියදුරු බව පොලිසිය පවසයි.
බස් රථය බස් නැවතුම්පොළට ඇතුළුකර මහජනයාට පීඩාකාරි ලෙස අධික ශබ්ද නගා නොනවත්වාම නළාව නාද කරමින් සිටියදි බස් නැවම්පොළේ පොලිස් නිලධාරියා ගොස් ඔහුගෙන් රියදුරු බලපත්රය ඉල්ලුවිට ඔහු පවසා ඇත්තේ බස් රථය මාර්ගයේ පසෙකට අයින්කර රියදුරු බලපත්රය දෙන බවය.
ඒ අනුව බස් රථය අයින්කරන තුරු බලා සිටියත් එය නොදී නොනවත්වාම නළාව නාද කරමින් සිටීම හේතුවන්, රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව පරීක්ෂා කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඔහුට බස් ධාවනය කිරීමට වලංගු රියදුරු බලපත්රයක් නොමැති බවය. ඒ අනුව රියැදුරුව රථ වාහන අංශයට බාරදී ඇත.රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු පැවසුවේ රියදුරුට ඇත්තේ සැහැල්ලු වාහන ධාවනය කිරීමේ බලපත්රයක් පමණක් බවය. එනිසා ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බවද පොලිස් නිලධාරියා පැවසීය.
ගාල්ල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සැරයන් විමල් ජයසේකර(10412) මහතා සහ සැරයන් කල්යාණි මහත්මිය බස් රථය සහ රියදුරා අත්අඩංගුවට ගත්හ.