රුපියල් 5500ට සත්තු වත්තෙන් ගෙනා ඊයේ අවසන් ගමන් ගිය මිල්ලන්ගොඩ ජයන්ති

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුවද කිහිප වතාවක් වැඩම කරවූ කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා පෙරේදා (29 වැනිදා) පස්වරුවේ මියගොස් තිබේ.

මියයන විට වයස අවුරුදු 68 ක් වූ මෙම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5500 කට මිලදී ගෙන ඇත්තේ අද 95 වැනි වියේ පසුවන එස්. ආර්. එස්. මිල්ලන්ගොඩ (මිලන්ගොඩ ලොකු මහත්තයා) මහතාය. එවකට ඇත් පැටවාගේ වයස අවුරුදු හතරකි. 1956 බුද්ධ ජයන්ති වසරේ මිලදී ගත් නිසා මෙම ඇතාට ‘ජයන්ති’ යන නම යොදා ඇත. පොඩි රාජා නමින්ද හැඳින්වෙන මෙම ඇතා මියයන විට දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක පෙරහරවලට සහභාගි වී තිබිණි.

උසින් අඩි නවයක් වූ මෙම හස්තියා කිහිප වතාවක්ම ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩම කරවූ අතර 2017 දී රන්දෝලි පෙරහරේද කරඬුව වඩම්මා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ (විල්ලන්ගොඩ ලොකු මහතාගේ පුතණුවන්) පවසයි.

ඔහු මියගිය ජයන්ති (පොඩි රාජා) ඇතා පිළිබඳ මෙවදන් පැවැසුවේ කිසියම් ගෞරවයකින්ද යුතුවය.

‘‘රාජා ඇතා පෙරහරක ගමන් කරන විලාසය හරිම ගාම්භීරයි. ඒ ඇත් ගමන මම වෙන කිසිම ඇතකුගෙන් දැක නැහැ. ඇතා කරඬුව වැඩම කරගෙන යද්දී දෙපැත්තට පැද්දෙන තාලේ හරිම දැකුම්කලුයි.

ඇතා වුණත් ඒ කටයුත්තට හරිම කැමැත්තෙන් හිටියේ. අනෙක් ඇත්තුන්ට වඩා විශාල ඇතෙක් නිසා පෙරහරේ ගමන් කරද්දී විශේෂයෙන්ම කැපී පෙනුණා.’’

මිල්ලන්ගොඩ ලොකු මහත්මයාගේ තවත් පුතකු වන මහින්ද මිල්ලන්ගොඩද ජයන්ති හස්තියා පිළිබඳ මෙලෙස හඬ අවදි කළේය.

‘‘මේ ඇතාගේ වයසත් එක්ක දත්වල යම් යම් ආබාධ ඇතිවුණා. ඒ නිසා කන කෑම හරියට කැවිලා ජීර්ණ පද්ධතියට එක්වුණේ නෑ. මේක ඕනෑම හස්තියෙක් වයසට යනකොට දකින්න පුළුවන් ලක්ෂණයක්. නමුත් අපි ඇතාට බේත් හේත් කළා. මියගිය දිනට කලින් දවසේ ඇතාට සේලයින් බෝතල් විශාල ප්‍රමාණයක් දීලා ජීවිතය බේරාගන්න උත්සාහ කළා. නමුත් ඇතා මියගියා. අපිට හරිම දුකයි.

අපි ළඟ හිටපු ආසියාවේ දිගම දළ ඇතා මිල්ලන්ගොඩ රාජා වගේම ජයන්තිත් හොඳ ගුණධර්ම තිබුණු සතෙක්. ලොකු ඇත් පරපුරක් හිටපු අපිට දැන් ඉතිරි වෙලා ඉන්නේ කුවේණි කියන ඇතින්නයි, ගල්කුඩා සහ කොටිහමා කියන අලි දෙන්නයි විතරයි. ඇත්තු සේරම මියගියා.

මියගිය ජයන්ති හස්තියාගේ අවසන් කටයුතු මහා සංඝරත්නයේ ආගමික කටයුතුවලින් අනතුරුව ඊයේ (30 වැනිදා) සිදු කිරීමට නියමිතව තිබිණි.

Next Post

දෙවෙනි කොරෝනා පාලනය කරන්න යු.එන්.පියට පුලුවන්

Thu Jul 2 , 2020
කොරෝනා දෙවැනි රැල්ලෙන් ආරක්ෂා වීමට ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කොවිඩ් දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කොවිඩ් 19 වැළැක්වීම සඳහා ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 230ක් ලැබුණ බවත් එම මුදල් වලට සිදුවූ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News