සිංගප්පූරුවෙන් 108 කාමරයට – මාස 3ක කාලයක් සිර වී සිට ශ්‍රී ලංකාවට පැමිණි සොයුරියගේ කතාව

ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය.

“අංක 108 කාමරයේ ඔයාලට හෙට ගෙදර යන්න පුළුවන්. හැබැයි ගෙදර ගියත් මේ වගේම තවත් දවස් 14ක් කාමරයටම වෙලා ඉන්න වගබලා ගන්න ඕන.”

කහපාට පොලිතීන් ආවරණයකින් සැරසුණු අයෙකුගේ හඬ ඇසෙනවාත් සමගම අවදි වූ නිලූ වට පිට බලන්නට වූයේ තමන් තවමත් සිටින්නේ පූනානි කඳවුරේද නැතිනම් නිවසේද යන්න සැක හැර දැන ගැනීමටය.

තමන් සිටිනුයේ තමන්ගේ සුපුරුදු නිදන ඇඳ මත බව ඇයට වැටහුණේ සිංගප්පූරුව ඇතුළු විදේශයන් කිහිපයක වෙළෙඳ පොළ ජයගත් නිලූ තේවල නැවුම් සුවඳින්ය. කෙසේවුවත් ඇය තවමත් සිටිනුයේ නිරෝධායන නීති ප්‍රකාරව හුදෙකලාවය.

මාස දෙකහමාරක කාලයක් සිංගප්පූරුවේ සිර වී සිට ශ්‍රී ලංකාවට පැමිණ පූනානි කඳවුරේ දින 14ක් නිරෝධායනය වී තම නිවසේ ස්වයං නිරෝධායනය වන ඇය නිලූෂිකා සිල්වා ජයවීරය. මීට වසර කිහිපයකට පෙර ඇය ලොවම කතා කළ චරිතයක් බවට පත්වූයේ ගෘහසේවිකාවක ලෙස සිංගප්පූරුවට ගොස් ව්‍යවසායිකාවක ලෙස යළි මවු රටට පැමිණීමට තරම් ඇය තුළ තිබූ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි.

කෝවිඩ් – 19 වෛරසය ලෝකයම එක තැනකට කොටු කරද්දී නිලූගේ ජීවිතයද නොසිතූ මොහොතක විදේශයකට කොටු විය. නමුත් මානසිකව කඩා නොවැටී ඒ මොහොත ජීවත් කරවීමට ඇය ගත් උත්සාහය තමන්ටත්, විදේශයන්හි සිරවී සිටින අයටත් අභිප්‍රේරකයක් වන නිසාම ඇය සිය මුහුණුපොතේ ඒ පිළිබඳව සටහන් කිරීම ආරම්භ කළාය.

ඒ #selfmotivation #365days #Covid19 ලෙස සටහන් කරමින් දින 365ක අත්දැකීම් සටහන් තබන්නට පූර්විකාවක් ගනිමිනි. මේ දක්වා ඇය මුහුණුපොතේ තබා ඇති සටහන් හා ඇය විඳි අත්දැකීම් අප හමුවේ තැබුවේ මෙපරිද්දෙනි.

දින 365ක ආරම්භය

මම මාර්තු 10 වැනිදා ලංකාවෙන් සිංගප්පූරුවට පිටත් වුණේ  මැලේසියාවේ තිබුණු වැඩසටහනකට සහභාගි වීමටත් ඊට පෙර මගේ ව්‍යාපාරික කටයුතු කිහිපයක් සිදුකිරීමටත් සැලසුම් කරගෙන තිබුණ නිසයි. සිංගප්පූරුවට ගිහින් දෙවැනි දිනයේ මට මැලේසියාවේ වැඩසටහන සංවිධානය කළ අය දැනුම් දුන්නා ඒ වැඩසටහන දින කිහිපයකට කල් දැමීමට සිදුවනු ඇති බවට.

ඒ නිවේදනය කර දින කිහිපයකින් ආරංචි වුණා මැලේසියාව දවස් 14කට ලොක්ඩවුන් කරන්න රජය තීරණය කර ඇති බවට. ඒ එක්කම සිංගප්පූරුවෙනුත් කෝවිඩ් රෝගීන් වාර්තා වෙන්න ගත්තා. සිංගප්පූරු රජය  නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් අනුවත් අනෙක් රටවල වෙන්නේ මොනවද කියලා ප්‍රවෘත්ති හරහා දැනගත්තම මම සහභාගි වෙන්න අපේක්ෂා කළ වැඩසටහන තවත් බොහෝ කාලයක් යන තුරු කල් දැමෙන බව තේරුම් ගියා.

ඒ අනුව මම  කළේ මගේ ටිකට් එකේ දිනය වෙනස් කරගන්න පුළුවන්ද කියන එක බලලා ලංකාවට හැකි ඉක්මනින් පිටත් වෙන්නයි. ඒ උත්සහයත් එතැනම නතර වුණේ ඒ වෙද්දී ලංකාවේ ගුවන් ගමන් නවතා දමන්න තීරණය කර තිබීම නිසයි. මම ජීවිතය ජය ගත්තේ සැලැස්මක් ඇතිව වැඩ කරපු නිසයි. එහෙම සැලසුම් කරගෙන ආපු සියල්ල එකපාරටම නතර වුණාම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි.

මම ඒ වෙද්දී හිටියේ දින දෙකකට නතර වෙන්න අදහස් කරගෙන නතර වුණ දේවගැතිවරියක වන ක්‍රිස්ටිනා ඔන්ගේ නිවසේයි. අවසානයේ මට මාස දෙකහමාරක් ඇයගේ නිවසේ ගතකරන්න වුණා. ඒ සිංගප්පූරුවේ Pasir Risවල. අපේ රටේ වගේ නොවෙයි සිංගප්පූරුවේ ජීවන වියදම වැඩියි. ඒ වගේම වීසා දික් කරගන්න පුළුවන් මාස දෙකක් වගේ කාලයකට.

ඇත්තටම කිව්වොත් පිස්සු හැදිලා වගේ හිටියේ. තේ බිස්නස් එක නතර වෙලා. මහන්සියෙන් ඉතුරු කරපු මුදල් නිස්කාරණේ වියදම් කරන්න වෙලා. ගෙදර යන්න පුළුවන් වෙන දවසක් ගැන දන්නේ නැහැ. මේකත් එක්ක මම හිතුවා මම විතරක් නොවෙයි මම වගේම තවත් පිරිසක් මේ අත්දැකීමම විඳිනවා නේද කියලා. ඒ අනුව මේ මොහොත සතුටින් හා ධනාත්මකව ගතකරනවා කියන අදහස පෙරදැරිව මම දිනපතා ධනාත්මක සිතුවිලි මගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කරන්න ගත්තා. ඒ වගේම හැමදාම සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුවා. සිංගප්පූරුවේ සිරව සිටි පිරිසක් අරන් පළමු ගුවන් යානය පිටත් වූ බව දැනගන්න ලැබුණේ ප්‍රමාද වෙලයි.

මොකද ඒ ක්‍රමවේදය පිළිබඳ අපි දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පසුව මම ලියාපදිංචි වුණා. ඉන්පසුව දෙවන කණ්ඩායමට තෝරාගෙන තිබුණේ සිංගප්පූරුවේ සිටින ශිෂ්‍යයන්. අවසානයේ තුන්වෙනි කණ්ඩායමට මාවත් ඇතුළත් වුණා. එයට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට ස්තූතිවන්ත විය යුතුයි.

මොකද ඔවුන් මේ ක්‍රියාවලිය ඉතා හොඳට සැලසුම් කර තිබුණා. බොහෝ දෙනාට Oneway ටිකට් පතක් සිංගප්පූරු ඩොලර් 542ක් වැය කර මිලදී ගන්න සිදුවුණත් මම කලින්ම ටිකට්පතක් මිලදී ගෙන සිටි නිසා එය හිලව් කරන්නට හැකියාවක් ලැබුණා. ජූනි දෙවෙනිදා ඒ අනුව චැංගි ගුවන්තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලාංකිකයන් 291 ‍දෙනා අතරට මමත් ඇතුළත් වුණා.

සිංගප්පූරුවෙන් ලංකාවට

ගුවන් යානයේ කාර්යයමණ්ඩලය අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මොකද අපේ ගුවන් යානයේ සීට් ගානට පිරිලයි ආවේ. එකම එක රෝගියෙක් ඒ අතර සිටියානම් අපි හැමදෙනාම අනතුරේ. වෙනදා වගේ නොවෙයි අපිට ෆෝර්ම්ස් 06ක් පුරවන්න තිබුණා. මම එය ගුවන් යානය තුළදීම පිරෙව්වා. අපි ලංකාවට ගොඩ බැහැලා ගුවන් යානයෙන් පිටතට එද්දීම උණ මැනීම සිදුකළා. එතනින් පෝලිමකට අපිව අරගෙන විෂබීජහරණ දියර ඉස්සා. අපි දාගෙන ආපු මාස්ක්, ග්ලවුස් ඉවත් කරලා අලුතින් ලබාදුන් ඒවා පැලඳගත්තා. මීළඟට ආගමන කාර්යාලයේ නැවතත් පෝලිමක හිටියා. එතනින් නැවතත් පෝලිමක සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළා. යළි ෆෝර්ම්ස් පුරවලා අපිව ගුවන් තොටුපොළේ දෙවන අදියරට යොමු කළේ අංක ලබාදීලා. ඒ අංක රෝස සහ කොළ ලෙස වෙන් කර තිබුණා. රෝස පැහැය පෞද්ගලිකව තෝරාගත් නිරෝධායන මධ්‍යස්ථානවලටත්, කොළ පැහැය රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලටත් බව පසුව දැනගත්තා. ඉන්පසු අපිව අරන් ගියේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහායි. එයින් පසුව අපිට කිරි පැකට් එකක්, සැන්ඩ්විච් හා රෝල්ස් ඇතුළත් කෑම පාර්සලයක් ලබා දුන්නා. නැවතත් අපිව විෂබීජහරණයට ලක්කරලා අපේ බෑග් වෙනම කන්ටේනරයකටත්, අපිව බස් රථවලටත් යොමු කෙරුණා. අපිව රැගෙන යන කඳවුර පිළිබඳ විමසුවත් ඒ ගැන දැනගන්න ලැබුණේ සෑහෙන දුරක් ගමන් කළාට පසුවයි. සිංගප්පූරුවේ ගුවන් තොටුපොළට අපි ආවේ දෙවෙනිදා උදේ 11ට. පූනානි කඳවුරට අපිව කටුනායකින් පිටත් කළේ රෑ 10.00ට. අපි පූනානි කඳවුරට එද්දී පාන්දර 03යි.

පූනානි කඳවුරේදී

ආව ගමන් අපිට කොත්තමල්ලි බොන්න දුන්නා. එක කාමරයකට හතර දෙනා ගානේ ඉන්න කැමති හතර දෙනෙක් තෝරා ගන්න අපිට උපදෙස් ලැබුණා. ඒ අනුව අපේ විස්තර රෙජිස්ටරයක සටහන් කරගෙන අපිව කාමරවලට යොමු කළා. මට තවත් තුන්දෙනෙක් සමග 108 කාමරය වෙන් වුණා. ගුවන් යානයේ ආව 291 දෙනාගෙන් 205ක් පූනානි කඳවුරට යොමු කර තිබුණා. කට්ටිය ගොඩක් නිසා ක්‍රමවේදය අනුව හැමදේම කරන්න ලොකු වෙලාවක් ගියා. අපිට මහන්සි දැනුනත් ඒ හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ලොකු හේතුවක් තිබුණා. පූනානි කියන්නේ පුදුම රස්නයක් තිබෙන ප්‍රදේශයක්. අපිට දැනුණ රස්නය ඉවසගන්න සෑහෙන්න අමාරු වුණා. ඒ වගේ තුන් හතර ගුණයක අපහසුතාවක් හමුදාවේ නිලධාරීන් දරාගෙන හිටියා.

ඒ ඔවුන් ඇඳගෙන හිටිය පොලිතීන්වලින් නිමවුණ ආරක්ෂිත ඇඳුම් නිසා. ඔවුන් පුදුම අපහසුතාවක් විඳගෙනයි අපි වෙනුවෙන් සේවා සැපයූවේ. ඒ නිසා අපි ඔවුන්ට හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්නා. ඒ වගේම කියන්න ඕන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යෙදවූ ගොඩනැගිල්ලේ වැඩ අවසන්ව තිබුණේ නැහැ. නමුත් නිරෝධායන කටයුතු වෙනුවෙන් හමුදාව තමයි ඒ හැම දෙයක්ම කඩිනමින් නිම කර තිබුණේ. අපිට වතුර තිබුණේ නැහැ. හැමදාම වතුර බවුසර හයක් විතර ගේන්න වුණා. ඒවට හමුදාවේ නිලධාරීන් පුදුම විදිහට මහන්සි වුණා. ඒ වගේම තමයි අපද්‍රව්‍ය යන වළවල්. ඒවා දිනපතාම පිරෙනවා. ගලි බවුසර ගෙනත් ඒවා පිරිසුදු කරන්න අපේ සෙබළුන් ගත්ත මහන්සිය වගේම අපිට කෑම උයන්න, අපිට අවශ්‍ය පහසුකම් සපයන්න ඔවුන් ගත්ත මහන්සිය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඔවුන්ට දිනකට විවේකය ලැබිලා තිබුණේ පැය තුනක වගේ කාලයක්. ඇත්තටම අපේ රටේ ජනතාවට මොනයම් කරදරයක් ආවත් අපිව ආරක්ෂා කරන්න ඉන්නේ අපේ රණවිරුවන් නේද කියන එක අපිට හොඳටම දැනුණා.

ඔවුන් කරපු සේවයට ස්තූතියි කියන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසාම පුළුවන් විදිහට නිර්මාණ කිහිපයක් කරන්න මම පටන් ගත්තා. කඳවුරේ 10 වන දිනයේදී නැවත පී. සී. ආර්. පරීක්ෂණවලට අපි සියලු දෙනාවම යොමු කළා. 13 වැනි දිනයේදී අපිට ගෙදර යන්න හැකි බව දැනුම් දුන්නා. දින 14ක කාලය අවසන් කරලා අපි 15 වෙනි දිනයේදී නැවත බස් රථවල අරගෙන ආවේ දැඩි ආරක්ෂාවක් සහිතව. පොලිස් රථවල සයිරන් සද්දේ එක්ක ගමන් කරද්දී ප්‍රභූ ආරක්ෂාව සහිතව ගමන් කරනවා කියන එකත් මේ වගේද කියලා හිතුණා.

කඳවුරෙන් නිවසට

කොහොම හරි අවසානයේ අපේ ගෙවල් අයිති පොලිස් ස්ථානයට අපිව භාර දුන්නා. ඔවුන් අපේ තොරතුරු අරන් අපිව නිවෙස්වලට ගෙනත් දැම්මා. ඒ වගේම ගේට්ටුවේ දැන්වීම් පත්‍රිකාවකුත් ඇලෙව්වා. මොකද තවත් දින දාහතරක් අපි ස්වයං නිරෝධායනයේ සිටිය යුතු නිසා. මගේ සැමියාගේ මවයි පියායි වයසක වගේම දියවැඩියා රෝගයෙන් පෙළෙන අය නිසාත් ඔවුන්ට අවදානමක් දරන්න බැරි නිසා ඔවුන්ව සහෝදරයාගේ නිවසට යොමු කළා දින 14ක් ගත වෙනකන්. ඔවුන් දැන් මට අවශ්‍ය දේවල් ගෙනවිත් ගේට්ටුව ළඟ තබා යනවා. ඇත්තටම මේ කාලය තුළ මම මගේ ඉදිරි කටයුතු සැලසුම් කරනවා. නමුත් ඒවා කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ දෙවියන් පමණයි. මොකද මුළු ලෝකයේම සිටින සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩා වැටිලයි තියෙන්නේ. මට යම් ඉතිරි කරගත් මුදලක් තිබූ නිසා අදටත් මම ජීවත් වෙනවා.

නමුත් හැමදේම අහිමි මිනිසුන් කොහොම ජීවත් වෙනවා ඇතිද කියන එක නිතරම හිතෙනවා. මගේ සමාජ සත්කාර සේවාව වන “Emerging hope lanka” හරහා ඔවුන් වෙනුවෙන් යම් සේවාවක් කරන්නයි මේ වෙද්දී මම සැලසුම් කරගෙන ඉන්නේ. ඇත්තටම කිව්වොත් නිරෝධායන දින 28 කියන්නේ මගේ ජීවිතයේ මම ගෙවන දීර්ඝතම කාලයයි. කෝවිඩ් එක්ක ලෝකයම වෙනස් වෙද්දී ඇයි මට වෙනස් වෙන්න බැරි කියන ධනාත්මක ආකල්පය හිතේ තියාගෙන මම දැන් “නිලූ තේ” යළි ගොඩගන්න සැලසුම් හදමින් කාලය ගතකරනවා. ”

Next Post

ලක්ශ 5කට ජීවිත අහිමි කරමින් කෝටියක් ලෙඩ කරපු කොරෝනාට අදට මාස 6යි - ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් කියන දේ මෙන්න

Tue Jun 30 , 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයේ හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ වාර්තා ලැබී අදට මාස හයක් ගත වන බවත්, පසුව නව කොරෝනා වෛරසය ලෙස හඳුනාගත් එය ලොව පුරා ආසාදිතයන් හා මරණ ඇතිකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි. ජිනීවා නුවර ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ටෙඩ්‍රොස් පැවසුවේ […]