සිය විවාහයට පෙර ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවළක් මාතලේ “සේර ඇල්ලේ“ දියවලකට ඇද වැටීමෙන් පසු තරුණයා මියගොස් තිබේ.නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයකි.
එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනී.කුරණෑගල පන්සිළුගම පදිංචි ශිරන්ත සංජය සහ දිල්මි මධූෂිකා ඊයේ (28) සිය මාපියන්, ඥාතීන් සහ ඡායාරූප ශිල්පියා සමග “සේර ඇල්ල“ අසළ ට පැමිණ තිබුණේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප කිහිපයක් ගැනීමටය.
ශිරන්ත සහ දිල්මි ඡායාරූපයකට පෙනී සිටින අතරතුර සේර ඇල්ලෙහි දිය පිරුණු වළකට ඇද වැටී තිබුණි.එම අවස්ථාවේදී ඥාති සොහොයුරෙකු විසින් දිල්මි බේරාගත්ත ද ශිරන්ත ව බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැකි වූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.
දියේ ගිලි අතුරුදන්වූ 26 හැවිරිදි ශිරන්ත පන්සිළුගම පදිංචිකරුවෙකි.අතුරුදන්වූ ශිරන්ත සොයා අද උදෑසන නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කළ අතර පස්වරුවේ මෘත ශරීරය සොයා ගැනීමට හැකිවී කිමිදුම්කරුවන්ට තිබුණි. වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වන ශිරන්ත, ඇගේ පෙම්වතිය වන දිල්මි සමග විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 14 වනදා ය.
