අවුරුදු 4ක් කට්ට කාලා Discovery ගිය අපේ කොල්ලෙක්ගේ වැඩක් – ලොව පුරා වැඩිදෙනෙක් නැරඹූ අපේ රටේ ලස්සන මෙන්න

අපි ‌බොහෝ දෙනා පරිසර වාර්තා වැඩසටහන් නැරඹීමට කැමැත්තෙමු. ඒ වෙනුවෙන් ලොව ප්‍රකට නාළිකාවක් වන්නේ Discovery චැනලයයි. එහෙත් ඩිස්කවරි නාළිකාවේ නිරන්තර අප දකින්නේ විදේශිකයන් විසින් රූගත කරන ලද විදේශයන්හි ස්වභාව සෞන්දර්යය මිස අපේ රටේ ඒවා නොවේ. මෑතකදී අපේ රටේ සතුන් පිළිබඳ වාර්තාවක් එහි විකාශය විය. එය Wild Sri Lanka – Realm of the Leopard විය. එහි විශේෂත්වය එය අපේම රටේ තරුණයකුගේ වාර්තාවක් වැඩසටහනක් වීමය. ඔහු නමින් තිවංක රුක්ෂාන් පෙරේරාය. ඩිස්කවරි ඒෂියා වැනි නාළිකාවක විකාශය වීමට තරම් දුරට ඔහු සිය වාර්තා වැඩසටහන ගෙන ගිය අයුරු පිළිබඳ මෙන්ම පාරිසරික වාර්තා වැඩසටහන් නිර්මාණයට ඔහු යොමු වූ ආකාරය අපි තිවංකගෙන් මෙසේ විමසීමු.

තිවංක, අපි කැමතියි ඔබේ පාසල් සමය ගැන දැනගන්න?

මම මරදාන සෙන්ට් ජෝසෆ්ස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පුංචිම කාලෙත් මම ලියන කියන වැඩවලට කැමති නිසා තනියම කතා පොත් ලියලා ඒවා මුද්‍රණය කළා වගේ පේන්න ස්ටේප්ලර් කටු ගහල පොත වගේ හදාගන්නවා. මම උසස් පෙළට විද්‍යාව කළත් මගේ ආශාව ලිවීමට නිසා කවි පොත් දෙකක් කළා 2005 වසරේ, Collected Emotio (කලෙක්ටඩ් ඉමෝෂන්ස්) සහ Elysium and Other Poems(එලිසියම් ඇන්ඩ් අදර් පොයම්ස්) කියලා. උසස් පෙළින් පස්සේ පිටපත් ලිවීමට කැමැති නිසා සිනමා පාසලක් හෙව්වා. ලංකාවේ හොයාගන්න බැරි නිසා මැලේෂියාවට ගියා. උසස් පෙළට ඒ විෂයයන් කරලා නැති නිසා ඒ රටේදි පදනම් පාඨමාලාවක් කරලා එතනින් සහතිකය ලබාගෙන ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල ඇකඩමි ඔෆ් ආර්ට්ස් කියන සිනමා පාසලට 2011 ඇතුළත් වුණා. 2016 වසරෙදි මට Fine Arts in Motion pictures and Televisio කියන සෞන්දර්යවේදී උපාධිය ලබා ගන්න හැකි වුණා.

කලාවට එතරම් ආශාවකින් සිටියදී විද්‍යාව හැදෑරුවේ?

මගේ තාත්තා, මහේන්ද්‍ර පෙරේරා වෛද්‍යවරයෙක්. මම පවුලේ වැඩිමලා නිසා වෛද්‍යවරයකු කරන්න තමයි ඒ අයගේ හීනය තිබුණේ. අම්මා, රූපිකා පෙරේරා ගෘහණියක්. ඇය තමයි මට ඉංග්‍රීසි ඉගෙනගන්න බල කළේ. අපේ පවුලේ මමයි මල්ලියි. මට බැරි වුණු දෙමව්පියන්ගේ සිහිනය සැබෑ කරමින් මල්ලි චානක පෙරේරා වෛද්‍යවරයකු ලෙස ස්කෝට්ලන්තයේ සේවය කරනවා.

ඔබ වනජීවී වාර්තා වැඩසටහන්වලට යොමු වුණේ?

සිනමා පාසලේ ව්‍යාපෘතියක් හැටියට වාර්තා වැඩසටහනක් කරන්න අවශ්‍ය නිසා මම ‘ඇන්ග්ලිං ඉන් ශ්‍රී ලංකා’ කියලා ධීවරයන් පිළිබඳ වාර්තා වැඩසටහනක් කරමින් ඉද්දි අම්මාගේ යාළුවෙක් කීවා ඒ ගෙදර ගහක ‌බෙනයක බස්සෙක් පැටවුන් දාලා ඉන්නවා පුළුවන් නම් ඒක ෂූට් කරන්න කියලා. මම කැමරාවක් අරගෙන ගියාට ඒ පටිගත කිරීම එතරම් සාර්ථක වුණේ නැහැ. පස්සේ ධනුෂ්ක බණ්ඩාර කියන මා සමඟ දැන් දිගුකාලීනව කටයුතු කරන කැමරා ශිල්පියාත් සමඟ ගිහින් රූගත කළා. ඒ බ්‍රවුන් වුඩ් ඖල් කියන බස්සාගේ කූඩුවක් ගැන පළමුවැනි වතාවට තමයි මේ වගේ වැඩසටහනක් කරලා තිබෙන්නේ. ඒ වැඩසටහන අන්තර්ජාතික තරග කීපයකමත් ප්‍රදර්ශනය කරන්න හැකියාව ලැබුණා. ඒ 2014 වසරෙ.

මගේ පළමු කෙටි චිත්‍රපට තිරරචනය වුණේ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහත්මයා අධ්‍යක්ෂවරයාගේ පළමු කෙටි චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට සම්මානය ලත් සයිලන්ට් ලෙටර් කියන පිටපත.

ඊළඟට කොබ්ලර්ස් ඩ්‍රීම් (සපතේරුවාගේ සිහිනය) කියන පිටපත මම ලීවේ සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයාට.

ඒ විදිහට වැඩ කරගෙන යද්දි මට ඕනෙ වුණා අන්තර්ජාතික මට්ටමේ වනජීවී වාර්තා වැඩසටහනක් කරන්න. මොකද එක්කෙනෙක් හැරුණාම අපේ රටේ ඒ මට්ටමට කවුරුත් එවැනි වාර්තාවැඩසටහන් කර නැහැ.

2015දි ආයේ මම විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සේ මට හිතුණා විනාඩි 45ක වාර්තා වැඩසටහනක් කරන්න. ඒ වෙනුවෙන් කලින් රූගත කළ ඔක්කොම එකතු කරලා වැඩසටහනක් හැදුවා. 2017 මම ආපසු ආවේ චන්ද්‍රම් රත්නම් මහත්මයා සමඟ චිත්‍රපටයක් කරන්න. ඒක මඟහැරුණා. ඒ නිසා මම වනජීවි වාර්තා වැඩසටහන්වලට තදින් යොමු වුණා. 2018දි මම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් සොයා ගත්තා. පසු නිෂ්පාදන කටයුතු වලට මදි වුණ මුදල ලබා දෙන්න බෙදාහරින්නන් කැමැති වුණා. ඒ නිසා දැන් එය සම නිෂ්පාදනයක් වගේ. ඒ අය තමයි සිතියම් ආදිය කරලා කථකය යොදලා වැඩසටහන සම්පූර්ණ කළේ.

එහෙම හැදුව වැඩසටහන තමයි 2019 ඩිස්කවරි නාළිකාවේ මුලින්ම විකාශය වුණේ. මේක ‘බ්ලූ චිප් ඩොකියුමන්ට්‍රි’ එකක් හැටියට සලකන්නේ. ඒ කියන්නේ කවදාවත් කල් ඉකුත් වූවා කියන්න බැරි සදාකාලිකව ප්‍රදර්ශනය කළ හැකි වැඩසටහනක්.

ඔබේ පළමු දිගු වාර්තා වැඩසටහන මෙසේ ඩිස්කවරි ඒෂියා නාළිකාවෙන් තෝරා ගනී කියා මුලින්ම සිතුවාද?

මම මුලින් හිතුවෙත් නැහැ. ඒත් ඒ අය ආසියානු රටවල අපේ වාර්තා වැඩසටහන විකාශය කළා. ඒ සමඟම තව නාළිකා දෙකක් ඒ වැඩසටහන ඉල්ලුවා. එකක් වයසැට් කියලා නෝර්වේජියානු රටවල විකාශය වන එකක්

අනෙක යූෂුවා කියලා ප්‍රංශයේ නාළිකාවක්. පසුගිය සතියේ බදාදා සිට ජූලි දෙවැනිදා දක්වා ලෝක පරිසර දිනය වෙනුවෙන් මේ වැඩසටහන විකාශය කරනවා.මෙහි කථනය විදේශිකයකුගේ බවයි හැඟෙන්නේ?

මීට පෙර මම දේශීය අයව තමයි යොදාගත්තේ.

ඒත් බෙදාහරින්නාගේ අවශ්‍යතාව සහ ප්‍රමිතිය මත මේ වැඩසටහනට කථනය සඳහා අන්තර්ජාතික මට්ටමේ නිවේදකයකු ගත්තා.

වැඩසටහන නිම කළ ආකාරය පිළිබඳ රසවත් සිදුවීම් එහෙමත් ඇති?

යාල සහ විල්පත්තු උද්‍යානවලට තමයි අපි දිගටම ගියේ. දේශීය අයට උද්‍යානවල රාත්‍රී රූගත කිරීම් දෙන්නේ නැහැ විදේශීයක කණ්ඩායම්වලට පමණමයි දෙන්නේ. ඒ නිසා රාත්‍රී කාලයේ සතුන්ගේ හැසිරීම් අපට අහිමි වෙනවා. ඒවා ගැන වගකිව යුත්තන් සැලකිලිමත්වෙනවානම් හොඳයි.

අලි පැටියාව රූගත කරන්න ගිහින් අපව අලි එලෙව්වා කවුඩුල්ලෙදි. අපි දැනගෙන හිටියේ නැහැ අලි පැටවකු ආරක්ෂා කරන්න මේ තරම් අලින් පිරිසක් ඉන්නවා කියලා.

විල්පත්තුව කැලේ අපි වටේ කැරකි කැරකි ඉඳලා ආපසු යන්න හදද්දි තමයි නැට්ටාව හමුවුණේ. ඒ කොටියා අවුරුදු 12ක් විතර වයස එක්කෙනෙක්. දැන් නම් පේන්නත් නැහැලු. නැට්ට ටිකක් කැඩිලා නිසයි ඒ නම යෙදිලා තිබෙන්නේ. නැට්ටා පැය භාගයක් පමණ අපට අවශ්‍ය විදිහට හිටියා. ජීප් එකේ ටයර් එක ළඟ තමයි වතුර බීවේ. අපි හිතේ හැටියට ඒ දර්ශන රූපගත කළා. හැබැයි අපට කොටි පැටවෙක් මුණගැහෙද්දි වාර්තා වැඩසටහන නිම වී හමාරයි.

දවසක් වලහෙකුත් ඇවිත් නැඟිට්ටා. අපි දැනගෙන හිටියේ නැහැ වලහා නැඟිටින්නේ මොකටද කියලා. තව ඩිංගෙන් අපට පහර දෙනවා. අපි කැමරා කෝණ තුනකින් පමණ ගත්ත නිසා සමීප රූප රාමු ගන්න පුළුවන් වුණා. මුලදි ඒ ගැන නොදැන ඉඳීම නිසා අපට හරියට සතුන් මඟහැරුණා. බස්සන් රූගත කරන්න මාස 6 යි. කොටින්ට අවුරුදු 2යි. මේ වෙද්දි අපි බස්සන් දොළහෙන් නවදෙනකු පිළිබඳවම වාර්තා වැඩසටහන් කරලා තිබෙනවා. ශ්‍රීලංකන් ගුවන්සේවයටත් අපි කළ උලමා, බස්සා සහ තවත් වනජීවී වාර්තා වැඩසටහන් ලබා දුන්නා. ඩිස්කවරි චැනලයේ විකාශය වූ වැඩසටහන නිම කරන්න අප‌ට අවුරුදු හතරක් පමණ ගත වුණා.

අප මුලින්ම කළේ දර්ශන රූපගත කරන එක. සංස්කරණය කරන්නෙත් මම නිසා ඒ අතර තමයි සතුන්ගේ හැසිරීම් ආදිය ගැන පර්යේෂණාත්මක කරුණු විවිධ තැන්වලින් සොයා බලා පිටපතට ඇතුළත් කරන්නේ.
ඔබේ මුල්ම වැඩසටහනට යම් ප්‍රමිතියක් මෙයින් ලැබෙනවා. එය දිගු කාලීනව පවත්වා ගත යුතුයි?

ඔව්, ඇත්තෙන්ම එය මට තරමක පීඩනයක්. මෙතනින් ඉදිරියට මට ගුණාත්මක බවින් අඩු වැඩසටහන් කරන්න බැහැ. අපේ ආයතනය ඒගල් ක්‍රියේෂන්ස් මඟින් වාර්තා වැඩසටහන් සහ චිත්‍රපට කරන්න බලාපොරොත්තු වෙනවා. සොබාදහම මූලික කරගත්ත වනජීවී වැඩසටහන් තමයි මූලික. අපට බෙදා හැරීමේ ආයතන සම්බන්ධතා තිබෙන නිසා වෘත්තීය මට්ටමෙන් නිර්මාණ කරන්න පුළුවන් කියා විශ්වාස කරනවා. කොටි මිනිස් ගැටුම ගැන වැඩසටහනක් කරන්න කියලා බොහෝ දෙනෙක් මට කීවා. මම ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කළේ තිර රචනය කියන විෂයය. එහිදී කළ ව්‍යාපෘතියකට කළේත් කළු කොටියා සහ මිනී කන කොටියා ගැන. ඒ නිසා මෑතක මියගිය කළු කොටියා ගැනත් අපි වාර්තාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අලි මිනිස් ගැටුම ගැන වුණත් වෙනදා නොකළ මුහුණුවරකින් කතා කරන්න තමයි හිතාගෙන ඉන්‌නේ. ලංකාවේ වනජීවී වාර්තා වැඩසටහන් කරන්න වැඩිපුර එන්නේ විදේශීකයන්. ලංකාවේ අය ඒ සඳහා පෙලඹෙනවා අඩුයි. හැබැයි අපේ යූටියුබ් නාළිකාව නිසා දැන් නම් පෙලඹීමක් තිබෙනවා කියා හිතනවා. උලමා ගැන මෙතෙක් එකම වැඩසටහන ලෙස තිබෙන්නේත් මම කළ එක.

වාර්තා වැඩසටහන් අන්තර්ජාතික මට්ටමින් කරන්න හිතාගෙන ඉන්න අයට ඔබ කියන්නේ කුමක්ද?

බොහෝ දෙනා හිතන්නේ මම විදේශයක අධ්‍යාපනය ලැබූ නිසා ඒ හැඳුණුම් කම් මත ඩිස්කවරි ආයතනය මගේ වැඩසටහන විකාශය කළා කියලා. ඒත් වුණේ එහෙම නෙවෙයි. ඕන කෙනකුගේ වනජීවි වැඩසටහනක් අන්තර්ජාතික මට්ටමින් තිබෙනවා නම් සහ එහි හරය ගුණාත්මක බව හොඳ මට්ටමක පවතිනවා නම් ඒ නාළිකා වැඩසටහන් බාරගන්නවා. ඒ සඳහා අවශ්‍ය ඔන්ලයින් ක්‍රමයට සොයා බලා තමන්ගේ වැඩසටහන පිළිබඳ විස්තර නිසි ලෙස ඔවුන්ට දැනුම් දීම පමණයි.

Next Post

බර්ටි ගුණතිලක හා යශෝධා විමලධර්ම ගැන කණගාටුදායක පුවත් දෙකක් .....

Sun Jun 28 , 2020
ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා සහ සිනමා නිළි යශෝධා විමලධර්ම ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් සරණය වීමට පටන්ගෙන තිබේ. 95 වියැති බර්ටි ගුණතිලක කලාකරු මියගොස් ඇති බවට පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බව ඔහුගේ මුණුබුරකු වන ශෙහාන් ගුණතිලක තහවුරු කර තිබේ. මහනුවර උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා […]

Breaking News