එයාලට ගොඩක් පින් – කොවිඩ් වැළඳී දිවි බේරාගත් ඉතාලියෙන් පැමිණි ආශාන්ගේ කතාව

“මට මගේ ආච්චිගේ ජීවිතේ ගැන බය හිතුනා. ආච්චිට අපි ගොඩක් ආදරෙයි. ඉතිං මම තීරණය කළා ආච්චිත් එක්ක ලංකාව ට එන්න. ලංකාවට ආවට පස්සේ පරීක්ෂණවලදී හෙළිවුණා මට කොවිඩ් හැදිලා කියලා. නමුත් ලංකාවේ සෞඛ්‍ය අංශ මහත් කැපවීමක් කරලා මගේ ජීවිතය බේරා ගත්තා. මම ඔවුන්ට ණයගැතියි.”

මේ ඔහුගේ කතාවයි. ඔහු අශාන් මිනෝල්.

කොවිඩ් 19 වසංගතය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යද්දි ඉතාලියේ සියලු නගරත් වසංගතයේ ගොදුරු බවට පත්වුණා.ඉන් වැඩිම ජීවිත අවධානමක් තිබුණේ වැඩිහිටි වයස්ගත පුද්ගලයින්ටයි.

කොවිඩ් ආසාදිතව මොහොතින් මොහොත මිනිසුන් ජීවිතය හැරයන අයුරු සියැසින් දුටු මිලානෝ නුවර ජීවත් වූ අශාන්, සිය මිත්තණියගේ ජීවිතය රැකගැනීමට මව්බිමට පැමිණීමට තීරණය කළා…

“මට අවුරුදු 23.මගේ පවුල ජීවත් වෙන්නේ ඉතාලියේ මිලානේ නගරයේ. කොරෝනා වෛරසය වේගයෙන් පැතිරුණේ එහේ. වයස්ගත පුද්ගලයින්ට වැඩිපුර හැදුණා..ආච්චි ගැන බය හිතුණා. ඉතාලියේ අය ලෙඩේ සැහැල්ලුවෙන් ගත්තේ.  මාස්ක් දැම්මේ නැහැ. අපි දැම්මාමත් අපිට හිනාවුණා. එයාලගේ පරිස්සම නැතිකම නිසා අපි බයවුණා. ආච්චිව ලංකාවට එකක්ගෙන එන්න තීරණය කළා.”

ඒ අනුව මාර්තු 12 වනදා අශාන් සිය මිත්තණිය සමග ශ්‍රී ලංකාවට පැමිණියා.තමා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී තමා කොවිඩ් ආසාදිතව සිටි බව ඔහු දැන සිටියේ නැහැ.


“මම දැනගෙන හිටියේ නැහැ. කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ. ඉතාලිවලදී නම් අපිම පරීක්ෂාවකට ලක්කළේ නැහැ. ඩුබාහිවලදි කොවිඩ් චෙක් කළා. ඒත් තිබුණෙ නැහැ. ලංකාවට එද්දි කිසි ආබාධයක් තිබුණෙ නැහැ.”

අනතුරුව, කටුනායක ගුවන් තොටුපළට පැමිණි අශාන් සහ මිත්තණිය යොමු කර ඇත්තේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයටයි.

එය ඔවුන්ට අලුත් අත්දැකීමක් විය.”ඔව්, අපිව ආරක්ෂාකාරිව ත්‍රිවිධ හමුදාව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළා. අපිට එහෙදි ගෙදර වගේ හොඳට සැලකුවා. වෙලාවට අවශ්‍ය කෑම දුන්නා. රස්නෙයි කිව්වම ෆෑන් එක දුන්නා. කොත්තමල්ලි දේශීය ඖෂධ ළඟට ගෙනත් දුන්නා. වයසක අපේ ආච්චිලාට වගේම පොඩි අයට අවශ්‍ය විදිහට වෙන වෙනම කෑම දුන්නා. මට කියන්න තියෙන්නේ අපේ හමුදාව එක්සලන්ට්. දවස් 2කින් පස්සේ මාව පොළොන්නරුව රෝහලට ඇතුළත් කළා. එහිදි කොවිඩ් කියලා තහවුරු කරගත්තා. ඊට පස්සේ IDH රෝහලට ඇතුළත් කළා”.

අශාන් අයි ඩී එච් රෝහලේ දින 43ක් ප්‍රථිකාර ලැබීය..”අපේ මානසික මට්ටම හදන්න අපි ඇතුළත් කළ දවසේ ඉඳලා එයාලා ලොකු වෙහෙසක් ගත්තා. සැරින් සැරේට අපේ ලේ සාම්පල ඛේට සාම්පල කිසිම බයකින් තොරව එයාලා ගත්තා. කොත්තමල්ලි වගේ දේශිය දේවල් දුන්නා. මට ඒවා වචනයෙන් කියන්න බැහැ. එයාලා ඇඳගෙන ඉන්න ඇඳුම නිසා දාඩියෙන් වැහිලා. අපි ගැන කරන කැපකිරීම දැකලා මට ජීවිතය ගැන කළකිරුණා. සුව විරුවෝ කියන එකේ ඇත්තම තේරුම තියෙන්නේ අපේ නිලධාරීන්ට”.

“අපේ රට පුංචියි. යුරෝපය තරම් පහසුකම් නැහැ. නමුත් ඒ කිසිම රටක නැති විදිහේ මානසික සෞඛ්‍ය හදන්න අපේ රටේ අය නොකරපු මහන්සියක් නැහැ. ලෙඩේ පාලනයට විතරක් නෙවෙයි, පූර්ණ සුවය ලබනකම් අපිට සත්කාර කරලයි අපිව සමාජයට මුදා හැරියේ. සෞඛ්‍ය අංශ හමුදාවේ අය අපි වෙනුවෙන් කළ කැපවීම ගැන කියන්න වචන නැහැ. මොකද කිසිම රටක නැති සිස්ටම් එකක් අපේ රටේ තිබුණ නිසා අපි හැමෝම ආරක්ෂා වෙලා ඉන්නවා”.

අශාන් මේ වන විට පූර්ණ සුවය ලැබූ අයෙක්. සිය මිත්තණිය කොවිඩ් වසංගතයෙන් බේරාගැනීමේ අරමුණත් ඉටුවී අවසන්. නමුත්, අශාන්ගේ බලාපොරොත්තු බෙහෙවින් වෙනස්වෙලා.

“මම අත්දැකීමෙන් ම දැක්කා ජීවිතයේ අනිත්‍යයි කියන දේ. අපිට තේරුම්ගන්න බැරි හුඟාක් දේවල් මේ ලෙඩේ නිසා එළියට ආවා. තවත් මුදල් හොයන්වත් ඉතාලියට යන්නවත් මගේ බලාපොරොත්තුවක් නැහැ. මනුස්සකම නැති කරගන්න එපා. හමුදාවේ අය සෞඛ්‍ය අංශවල අය කරපු දේවල් මම දැක්කා. මං අද ජීවත්වෙන්නේ එයාලා නිසා. ස්තූති කරන්න වචන නැහැ. හුඟාක් පිං එයාලට”.

Next Post

බෙල්රූස් සිට විශේෂ ගුවන් යානයක් ලංකාවට - ඒ අතර අජිත් රෝහණ මහතාගේ දියණියත්

Sun Jun 28 , 2020
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් […]

Breaking News