යූ එන් පී කට්ටිය සජිත්ට හූ කියලා

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්‍ෂයන්ගේ සහභාගිත්වයෙන් කලවානේ පැවති රැස්වීමකට හූ කියා බාධා කළ බව කියන පුද්ගලයෙක් අද (26) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කලවාන ලෑලිකුඹුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන සංවිධායක සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්‍ෂක සරත්චන්‍ද්‍ර රාමනායක මහතාගේ නිවසේ පැවති රැස්වීමකට මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් බාධා එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමතිනී තලතා අතුකෝරළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ.විජේතුංග, හේෂා විතාන ඇතුලු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයින් අතුලු 200 ක පමණ පිරිසක් මෙම රැස්වීමට සහභාගිවී සිටි බව පොලිසිය සඳහන් කළේය.

පෙරවරු 10.15 ට පමණ රැස්වීම ආරම්භ කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාද රැස්වීමට පැමිණ සිටි අතර තලතා අතකෝරළ මහත්මිය සිය කතාව  පවත්වාගෙන යද්දී පෙරවරු 11.20 ට පමණ පිටස්තරින් පැමිණි පිරිසක් හූ කියමින් කෑකෝ ගසමින් රැස්වීමට බාධා කර තිබේ.

රැස්වීමට බාධා කළ පිරිස පොලිසිය මැදිහත්ව පලවා හැර තිබේ.

එහෙත් රැස්වීම අවසන් වූ පසු දහවල් 12.15 ට පමණ ත්‍රීරෝද රථයකින් පිරිසක් නැවත පැමිණ හූ කියු බවත් පසුව පොලිසිය මැදිහත් වී දෙපිරිස අතර ඇතිවීමට ගිය ගැටුම වළක්වා හූ කියූ බව කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. ඒ අවස්ථාව වනවිට සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමෙන් පිටව ගොස් තිබුණි.

අත්අඩංගුවට පත් පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයෙකුට සහයෝගය දක්වන පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළේය.

Next Post

අවුරුදු 17ක් තිස්සේ තහනම් ගහේ ගෙඩි කාපු අයට කොරෝනා නිසා වෙච්ච වින්නැහිය

Fri Jun 26 , 2020
කුවේට් රටේ සිටි බව පවසමින් 17 වසරකට පසු නිවසට පැමිණි සැමියගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ. විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ. කටාර් හි වසර […]