ඉතාලියේ ප්‍රථම කොරෝනා ආසාදිතයා ඉකුත් පෙබරවාරි මැද භාගයේදී හඳුනාගනු ලැබුවද ඉකුත් දෙසැම්බර් 18 වැනිදා එරට මිලාන් හා ටියුරින් යන නගර දෙකේ නිවෙස්වලින් ඉවතලන ලද අපද්‍රව්‍ය සහිත ජලයේ තිබී කොරෝනා වෛරසයේ ජානවල සලකුණු හඳුනාගැනීමට ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමකට හැකි වී තිබේ.
මේ අනුව ඉහත කී අපද්‍රවය සහිත ජලයේ තිබී කොරෝනා වෛරසයේ ජානවල සලකුණු හමුවීමෙන් පෙනී යනුයේ වෙනත් රටවල් විසින් සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වී ඇති පරිදි කොරෝනා වෛරසය බොහෝ රටවල කලින් අනුමාන කළාටත් වඩා පෙර සිට සංසරණය වෙමින් පැවති බව යැයි ඉතාලි විද්‍යාඥයින් කණ්ඩායම අවධාරණය කර සිටී.
මෙහිදී විද්‍යාඥයින් කණ්ඩායම විසින් උතුරු ඉතාලියේ ඉකුත් ඔක්තෝබර් මස සිට පෙබරවාරි දක්වා වූ කාලය තුළ ඉවතලන ලද අපද්‍රව්‍ය ජල සාම්පල 40ක් එකතු කරගෙන මෙම පර්යේෂණය පවත්වා ඇති අතර එහිදී ඉකුත් ඔක්තෝබර් සිට නොවැම් බර් දක්වා ඉවතලූ අපද්‍රවය ජල සාම්පලවල කොරෝනා වෛරසය තිබී නොමැති බව හෙළි වී තිබේ ,කෙසේ වුවද ඉකුත් දෙසැමබර් හා ජනවාරි මාසවල ඉවතලූ අපද්‍රව්‍ය ජලයේ තිබී වෛරසයේ සලකුණු මතු වී තිබේ.
කොරෝනා වෛරසය පැතිරීම ඇරඹි කේන්ද්‍රස්ථානය සේ සැළකෙන චීනයේ වුහාන් නගරයෙන් මුල්ම කොරෝනා ආසාදිතයා ඉකුත් දෙසැම්බර් මස අවසානයේදී හඳුනාගත් බව චීනය විසින් ප්‍රකාශ කර ඇති අතර මේ අනුව අලුත්ම සොයා ගැනීම සමගම මෙම වෛරසය වුහාන් නගරයෙන් වාර්තා වීමට පෙර ඉතාලියේ තිබී ඇති බව පෙනී යන බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රංශයේ ඉකුත් මැයි මාසයේදී සිදු කළ පර්යේෂණයකදී පැරිස් නගරයට ආසන්නයේ ඉකුත් දෙසැම්බර් 27 වැනිදා නිවුමෝනියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට වැළඳී තිබී ඇත්තේ කොරෝනා ආසාදනය බව හෙළි වී තිබිණි. නමුත් මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ 2019 අගෝස්තු මාසයේ සිට චීනයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බවට සැකයක් තිබෙන බවය.
හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප අනුව සිදු කළ අධ්‍යනයකදී හෙළිදරව් වී තිබුණේ අගෝස්තු අග සිට දෙසැම්බර් දක්වා චීන නගරයේ රෝහල් පහක පිටත රථවාහන තදබදය වැඩි වී ඇති බවකි. රථවාහන තදබදය පැවති කාලය තුළම අන්තර්ජාලය ඔස්සේ “කැස්ස” සහ “පාචනය” වැනි රෝග ලක්ෂණ පිළිබඳ තොරතුරු සෙවීම ද වැඩිවී තිබූ බව එම වාර්තාවේ දැක්විණි.
නමුත් මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය පවසා තිබුණේ මෙය “හාස්‍යජනක” සහ “මතුපිට කරුණු” මත පමණක් සිදු කර ඇති අධ්‍යයනයක් බවය. ඒමන්ති මාරඹේ